Friday, September 20, 2024

General line - 0115112241

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡාවෙන් ‘ජන සටන’ හැලේ




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේදී ඊයේ (25) රාත‍්‍රී පැවැත්වුණා.

රාත‍්‍රී 7.30ට පමණ ආරම්භ වූ සාකච්ඡාව රාත‍්‍රී 9.00 පමණ දක්වා පැවති බවයි එහි සිටි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සජිත් තිලකරත්න පවසන්නේ.

මෙම සාකච්ඡාවෙන් පසුව ඊට සහභාගි වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් මාධ්‍ය වෙත ද අදහස් දැක්වූවා. මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ.

“එතුමා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්නැතුව එකට යන්න කටයුතු කරන්න කියලා. ඉතින් අපේ මන්ත්‍රීවරුත් විවිද කාරණා ගැන සාකච්ඡා කළා. ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ ඕන කටයුත්තකදී එතුමා මැදිහත් වෙන්නේ නැහැ. ඕන කටයුතුතක් කරන්න ඒකේ ඇති ප්‍රශ්ණයක් නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න කටයුතු කරන්න එපා කියලා කිව්වා. අපි කිව්වා එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න කියලා”.

සාකච්ඡාවට සහභාගි වූ සහ නොවූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ගාමිණී ලොකුගේ මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ හැර අනෙක් සියළුදෙනාම සහභාගී වී සිටි බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සම්මුති ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (25) පැවති සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන ඒ සම්බන්දයෙන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“එන්න කියලා කිව්වා ජනාධිපතිතුමා , අපි ආවා සාකච්ඡා කළා. අවුරුදු දෙකකට ගහපු ගිවිසුම අවුරුදු 5කට දිර්ඝ කිරීම ගැන අපි අපේ විරෝධතාවය ජනාධිපතිතුමාට පහදලා දුන්නා. එතුමාගේ පැත්තෙන් තියෙන කරුණු කාරණා කිව්වා”.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී ආර්ථික කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පැවසුවේ.

ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. එම හඬපටය පහතින් දැක්වේ

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙහෙයවනු ලබන ආණ්ඩු විරෝධී ‘ජන සටන’ පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් අතර සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇතැයි මුලින් විශ්වාසය පළ වුණා. එහෙත් ඒ පිළිබඳ කිසිවක් ඊයේ සාකච්ඡා නොවූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.