Friday, September 20, 2024

General line - 0115112241

විශ‍්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයින්ගේ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක්




කොළඹ කොටුව ප‍්‍රදේශයේ ඊයේ (25) උද්ඝෝෂණයක නිරත වූ විශ‍්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයින්ගේ ඉල්ලීම් ඉටු කිරීමට දැනටමත් මූලික කටයුතු සිදුකර ඇතැයි ආණ්ඩුව පවසනවා.

ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටියේ තමන්ට හිමි විශ‍්‍රාම වැටුප් හිමිකම කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.

“ජනාධිපතිතුමා පසුගිය දවසක ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඇවිල්ල මේ ප්‍රශ්ණය පිළිබඳව සාකච්ඡා කළා. එතුමා උපදෙස් දුන්නා මේ අයගේ ප්‍රශ්ණය විසඳීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කරලා. ඒ අනුව අපි ඒ කටයුතු කරලා විසඳුමක් දැන් යෝජනා කරලා තියෙන්නේ ඒ අයට ඒ විශාම වැටුප ලබාදීම සඳහා. කැබිනට් මණ්ඩලයට මෙය වාර්තා කිරීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ මේ ප්‍රශ්ණය විසඳීමට අපිට කටයුතු කරන්න පුළුවන්”.

මේ අතර ඉකුත් දා පැවති ආරක්ෂක අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධානය යොමුවූ කරුණු සහ ගනු ලැබූ තීරණ ඇතුළත් නිවේදනයක් එම අමාත්‍යංශය ඊයේ (25) රාත‍්‍රී මාධ්‍ය වෙත නිකුත් කළා.

යුද හමුදා සේවයේ වසර 10ක් සම්පූර්ණ නොමැති නිලධාරීන්, සේවා කාලය වසර 12ක් නොමැති සෙසු නිලයන් සහ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ නොමැති පොලිස් නිලධාරීන් එකසිය තිස් දෙදෙනෙකු සඳහා ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූවන් හට පිරිනැමෙන විශ‍්‍රාම වැටුප් හිමිකම ලබාදීම එහිදී අවධානයට යොමු වී තිබෙන පළමු කරුණයි.

දැනට තිබෙන නීති යටතේ ඔවුන්ට විශ‍්‍රාම වැටුප් ලබාදීම සිදුකළ නොහැකි බව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට අදාළ විශ‍්‍රාම වැටුප ලබාදීම සඳහා ගතහැකි සුදුසු කි‍්‍රයාමාර්ගයක් කඩිනමින් හඳුනාගෙන කැබිනට් පති‍්‍රකාවක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් දී තිබෙන්නේ.

කි‍්‍රයාන්විත රාජකාරියේදී ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් ආබාධිතව හමුදා සේවයෙන් ඉවත්ව යන තැනැත්තන්ට මියයන තෙක්ම වැටුප් හා දීමනා ලබාදීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.

ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් දුබලතාවයට පත්ව පසුව දුබලතාවය සියයට 50කට වඩා අඩුවීම හේතුවෙන් ප‍්‍රතිලාභ නොලබා අදාළ සේවා කාලය සම්පූර්ණ කර විශ‍්‍රාම ගොස් සිටින හෝ හමුදා සේවයෙන් ඉවත් වී සිටින තැනැත්තන්ට හිඟ වැටුප් ගෙවීම මෙහිදී අවධානයට යොමු වී ඇති තවත් කරුණක්.