Saturday, May 4, 2024

General line - 0115112241

ක්‍රොඒෂියාව පරදා පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනා ගනියි (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර




ලොවක් බලා සිටි මෙවර පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට ප‍්‍රංශය මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජය කරමින්. අද (15) පැවති අවසන් මහා තරගය ප‍්‍රංශය ජය ගත්තේ වසර 20කට පසුව පාපන්දු ලෝක කුසලානයක සිහිනය සැබෑ කර ගනිමින්.

මෙවර තරගාවලියේ කාගේත් අවධානය දිනා ගත් කණ්ඩායමක් වූයේ ක්‍රොඒෂියාවයි. ඒ ඔවුන් සතුව තිබූ වාසනාව සමග හිමිකර ගත් විශිෂ්ට ජයග‍්‍රහණ හේතුවෙන්. එහෙත් අද තරගයේදී තරගයේ සම්පූර්ණ වාසිය ප‍්‍රංශය දෙසට හැරී තිබෙනු දැක ගත හැකි වුණා. 

ප‍්‍රංශය රැස්කල පළමු ගෝල 2ම ඔවුන්ට හිමිවූයේ ක්‍රොඒෂියා ක‍්‍රීඩකයින් අතින් සිදුවූ වැරදි හේතුවෙන්. පළමු ගෝලය ක්‍රොඒෂියා ක‍්‍රීඩකයෙකුගේ හිසේ වැදී ඔවුන්ගේම ගෝලයට ගිය අතර ක්‍රොඒෂියා ක‍්‍රීඩකයෙකුගේ අතෙහි වැදීම හේතුවෙන් ලද දඩුවම් පහර සාර්ථක කර ගත් ප‍්‍රංශය සිය දෙවන ගෝලය වාර්තා කලා. 

ප‍්‍රංශයේ Kylian Mbappé තරගයේදී විශිෂ්ට ගෝලයක් රැස් කල අතර ඔහු ලෝක පාපන්දු ඉතිහාසයේ අවසන් තරගයකදී ගෝලයක් රැස්කල දෙවන ලාබාලතම (19) ක‍්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වුණා. එමෙන්ම 1970 වසරෙන් පසු අවසන් තරගයක ගෝල 4ක් රැස් කල එකම කණ්ඩායම ලෙසටද ප‍්‍රංශය අද ඉතිහාසයට එක් වුණා.

ප‍්‍රංශය පාපන්දු ලෝක ශූරයින් වූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් 1998 වසරේදීද පාපන්දු ශූරයින් බවට පත්වුණා. අනුශූරයින් වූ ක්‍රොඒෂියාව, එතෙක් මෙතෙක් පාපන්දු ඉතිහාසයේ වාර්තා කල ඉහළම ජයග‍්‍රහණය මෙය වනවා.

(වීඩියෝව මෙතැනින්)