සියලූ බෝග සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කර අද (16) නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ, තේ සහ රබර් සඳහා පමණක් එම තහනම ඉවත් කරමින්.
පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ඉකුත් 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සියලූ බෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ඇති බවයි. එහෙත් ඉකුත්දා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන්නේ තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමටයි. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ කැබිනට් තීන්දුවලට පරිබාහිරව හිතුමනාපයට ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාට කිසිදු හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත තේ සහ රබර් වගා කරන පුද්ගලයින්ට පමණක් ග්ලයිෆොසෙට් ලබාගත හැකි පරිදි ගැසට් නිවේදනය අලූතින් නිකුත් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.
ග්ලයිෆොසෙට් තහනම සීමිත වගාවන් සඳහා පමණක් හෝ මෙලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව දැඩිව හඬ නැගු පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී "ඇමතිවරයා කිසිම දෙයක් දන්නේ නෑලු..අගමැතිවරයා කිසිම දෙයක් දන්නේ නෑලු..ජනාධිපතිවරයාත් කිසිම දෙයක් දන්නේ නෑලු. මම හිතන්නේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සල්ලි අරගෙන වෙළඳ දැන්වීමක් තමයි කරලා තියෙන්නේ." යනුවෙන් සඳහන් කළා.
කැබිනට් අනුමැතියට පරිබාහිරව සියලූ බෝග සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ මන්දැයි නෙත් නිවුස් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ. ඒ. සුමිත්ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ "ග්ලයිෆොසෙට් නිෂ්පාදන කලින් තහනමත් සමග ඔක්කොම අවලංගු වෙලා තියෙන්නේ. ඒ නිෂ්පාදනවල ලියාපදිංචි වලංගු කාලය තියෙන්නේ අවුරුදු 03යි. ඒ නිසා දැන් ඒ හැම නිෂ්පාදනයක්ම අවලංගු වෙලා තියෙන්නේ. එතකොට දැන් අලුතින් ලියාපදිංචි කරන්න ඕනේ ඒ සුදුසු නිෂ්පාදන. ඔය ගැසට් එක එනකම් මට ඒ ලියාපදිංචි කිරීම් බාධාවක් තිබුණා. තහනමක් තිබියදී ලියාපදිංචි කරන්න බෑනේ. ඒක ඉවත් කිරීම විතරයි කරලා තියෙන්නේ." යනුවෙනි.
2015 දී සියලූ බෝග සඳහා බලපැවැත්වෙන පරිදි ග්ලයිෆොසෙට් තහනම පනවා තිබුණා. එය 2017 වසරේදී තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ඉවත් කෙරුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුවයි.