රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ විසි හතර දහසක් වටිනා අමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් සිව් දෙනෙකු අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම චීන ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 33 වයස්වල පසුවන අතර, නේපාල ජාතිකයන් දෙදෙනා අවුරුදු 20 සහ 25 යන වයස්වල පසුවන බවයි සඳහන් වන්නේ.
මොවුන් අද දින අලුයම 5.40 ට ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ගුවන් යානයකට ගොඩවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ සහ ඇද සිටි කළිසම්වල සාක්කු තුළ මෙම අමෙරිකානු ඩොලර් 169,900 සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිව් දෙනා ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව සඳහා පැමිණ, එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් මෙලෙස රැගනෙ ගොස් ඇති බවයි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ අනාවරණය කළේ.
රේගු අධිකාරීවරුන් වන බන්ධුල ගජනායක, ඒ.එන්.ජේම්ස්, සහකාර රේගු අධිකාරීවරුන් වන සමනළ සමරසේකර, බී.එල්.ඒ.එල්.ඒ. දසනායක, පී.ඒ.එච්.යූ.කේ.ජයවර්ධන, ඒ.එම්.ඩී.ඒ.බී.අලහකෝන්, එම්. අම්‍රින් සහ වරුණි ගුරුසිංහ යන නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.