Saturday, December 28, 2024

General line - 0115112241

තරුණයින් පැහැරගත් නාවික හමුදා බුද්ධි අංශයේ දෙදෙනාට ඇප

අධිකරණ වාර්තාකරු




2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු දැඩි ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග  කළා.

කහවලගේ ගාමිණී සහ තුෂාර මෙන්ඩිස් යන නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හළ මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා. ඊට අමතරව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
 
පරීක්ෂණවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එසේ බලපෑම් කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන බවද මහාධිකරණ විනිසුරුවරිය සැකකරුවන්ට තරයේ අවවාද කර සිටියා.