දකුණු කොරියාවේ රැකියා සඳහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලැබී තිබෙනවා.
දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීමේ ක්රියාවලිය ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුකරනු ලබනවා. මෙම රැකියා අවස්ථා සඳහා දේශපාලනික වශයෙන් හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුට කිසිඳු බලපෑමක් සිදුකළ නොහැකියි. කොරියානු රැකියා පෙර විගමණික පුහුණුව ලබාදෙනු ලබන්නේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරාගන්නා සුදුසුකම්ලත් පුහුණු උපදේශකයින් විසිනි.
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට භාෂා පුහුණුව ලබාදීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු නම්කර නොමැති අතර වගකීම්ද භාරදී නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
එහෙයින් කොරියානු රැකියා ලබාදෙන බව පවසන පුද්ගලයින්ට හෝ කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනික පුද්ගලයින්ට හසුනොවන ලෙසත් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙසත් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.