Friday, September 20, 2024

General line - 0115112241

මුරලි වෙනුවෙන් අර්ජුන යළිත් ඇඟිල්ල ඔසවයි




තමන් ක්‍රිකට් ආයතනයේ සිටියේ නම් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවකු වීමට ඉඩ නොදෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

අද (26) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙනවා.

“මම මුරලිදරන් නම් මම ඔය වැඩේ භාරගන්නේ නැහැ. නමුත් මුරලිදරන් එය භාර අරන් තියෙනවා. ඒක හරිද නැද්ද කියලා අපි පැති කිහිපයකින් බලන්න ඕන. මම දකින පළමු දෙය තමයි, ඕස්ට්‍රේලියාවේදී අපිට අඩත්තේට්ටම් කළ, මුරලි පන්දුව දමලා ගහනවා කියලා දෝෂාරෝපණය කළ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයම මුරලිදරන්ව ගන්න හදනවා පුහුණුකරුවෙක් හැටියට. එතනදීම අපි ලෝකයට ඔප්පු කරලා තියනවා අපි කළ දේ හරි කියලා.

මම හිතනවා මුරලිදරන් ජයග්‍රහණය කළා කියලා පොඩි කාලයකට හරි ඕස්ට්‍රේලියානුවන් සමඟ මෙවැනි කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමෙන්. දෙවෙනි කරුණ තමයි මම පෞද්ගලිකව හිතනවා මුරලිදරන් එයට සම්බන්ධ නොවුණා නම් හොඳයි කියලා. ඒ වගේම මෙහි තව පැත්තක් අපි බලන්න ඕන.

පසුගිය ක්‍රිකට් නිලවරණයෙන් පසුව ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයන් කීදෙනෙක් පුහුණු ධුරවලින් අයින් කරලා තියනවද? තේරීම් කමිටුවේ හිටපු සනත් ජයසූරියව ඉස්සෙල්ලාම ඉවත් කළා. එරික් උපශාන්ත ඉවත් කළා. පුෂ්පකුමාර ඉවත් කළා. චමින්ද වාස්, උපුල් චන්දන ඉවත් කළා. ඒ වෙනුවට විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙනාවා.

මේ අපේ රටේ ක්‍රිකට් ආයතනය කැමති නැහැ මේ දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න. මොකද ඒ අයට ක්‍රිකට් බැහැ. ක්‍රිකට් දැනුම නැහැ. ඒ නිසා ඒ අය බලන්නේ තමන්ට පාලනය කර ගන්න පුළුවන්, මුදලක් දීලා හෝ තානාන්තරයක් දීලා යටත් කරගන්න පුළුවන් පුද්ගලයින්ට තනතුරු දෙන්න. වසර 20ක් 15 ක් අවුවේ ඉදලා රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ව පිළිගැනීමක් නැතිනම් ඒ අයට පිටරටට යන්න සිද්ධ වෙනවා.

ඒ දේවල් ඉස්සරහටත් සිද්ධවෙනවා. මම පෞද්ගලික හිතන දෙයක් තමයි අපිට පිටරට පුහුණුකරුවන් අවශ්‍ය නැහැ. මේ ගැන සොයා බලන්න ඕන ක්‍රීඩා ඇමැතිවරයා. නමුත් අද ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් ආයතනයට වඩා පහළින් ඉන්නවද කියලා සැකයක් තියෙනවා. නමුත් මම අවසාන වශයෙන් කියනව නම් මම කියන්නේ මුරලි මගෙන් ඇහුව නම් ඕස්ට්‍රේලියාවේ පුහුණු ධුරය ගන්නද කියලා මම යන්න දෙන්නේ නැහැ…”