Friday, September 20, 2024

General line - 0115112241

ලංකාව ‘මිලින වුණේ’ මිලින්ද නැති නිසාලු!




ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයට ඊයේ පස්වරුවේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 66 ක් ලබා සිටි අතර පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුනු 117 කට සීමා වී තිබුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අසාර්ථක වීම සම්බන්ධයෙන් ක්‍රිකට් විචාරකයන් විවිද අදහස් දක්වා තිබෙනවා.

පිතිකරුවන්ට යෝග්‍ය පල්ලෙකැලේ තණතීරුවේදී කාසියේ වාසිය හිමිවූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පැකිලීමකින් තොරවම පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට තෝරාගත්තද එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් බවයි ඔවුන් පවසන්නේ.

එහිදී ලකුණු විස්‌සේ සීමාව ඉක්‌මවා යෑමට හැකිවූයේ ධනංජය ද සිල්වාට සහ කුසල් පෙරේරාට පමණයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ශ්‍රී ලංකා සභාපතිගේ පිල අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පසුගිය දා පැවති තෙදින පුහුණු තරගයේ නායකත්වය දැරූ මිලින්ද සිරිවර්ධන මෙම තරගයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ද විචාරකයන් අදහස් පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෝ එක පෙළට ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූ අවස්ථාවේ දී සභාපතිගේ පිලට නැංගුරම් දැමූ මිලින්ද සිරිවර්ධන අර්ධ ශතක වාර්තා කළ බව ඔවුන් පෙන්වා දෙනවා.

මිලින්ද සිරිවර්ධන පන්දු 77 කදී හතරේ පහර හතක්‌ සහ හයේ පහර දෙකක්‌ සමග ලකුණු 53 ක්‌ එහිදී ලබා ගත්තා.

එම තරගයේදී මිලින්ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙරට තණතීරුවල තමන්ගේ සමත්කම පෙන්නූ බව විචාරකයන් පවසනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු පීඩනය යටතේ මිලින්ද නැංගුරම් දැමූ ආකාරය පරිණත ක්‍රීඩකයෙක්ගේ ලක්ෂණ පෙන්නූ බව ද ඔවුන්ගේ අදහසයි.