Friday, September 20, 2024

General line - 0115112241

නගරය අතහැර වටෙන් එන හැටි – ඒකාබද්ධ විපක්ෂය




සැළසුම් කළ පරිදි පාද යාත‍්‍රාව පැවැත්වීමට මෙම අධිකරණ නියෝග බාධාවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරන්නේ හෙට (28) පාද යාත්‍රාව මහනුවර නගර සීමාවෙන් පිට මහනුවරින්ම ආරම්භ කරන බවයි. පෙළපාලිය කිසිඳු අධිකරණයකින් තහනම් වී නොමැති බවත් ඒ අනුව ආණ්ඩුව විසින් දරනුලැබූ උත්සහයන් ව්‍යර්ථ වී ඇති බවත් පැවසුවා.

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට හෙට දිනය තුළ මහනුවර නගරයේ පා ගමන්වලට සහභාගි වීම ද අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව නෙත් නිවුස් වෙත අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ සිය අනුගාමිකයන් හෙට නිවෙස්වල සිටින බවත් පැමිණෙන අනුගාමිකයන් නොහඳුනන අය බවයි. එහෙයින් තමන් ඇතුලු තිදෙනා හෙට මහනුවරට පැමිණ හෝටලයකින් තේ කෝප්පයක් පානය කර මාවනැල්ලට යන බවත් පැවසුවා.

(එම හඬපටය පහතින් අහන්න)

මහනුවරින් හෙට ආරම්භ වීමට නියමිත ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් මහනුවර සහ මාවනැල්ල යන මහේස්ත‍්‍රාත් අධිකරණ අද නියෝග නිකුත් කළා. මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ මෙම පාද යාත‍්‍රාව මහනුවර නගරයේ පැවැත්වුවහොත් මහජන පීඩාවක් ඇති විය හැකි නිසා එය නගරයෙන් බැහැරව සිදුකරන ලෙසයි. මාවනැල්ල නගරය තුළ රැස්වීම් නොපවත්වන ලෙස මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා.