Tuesday, April 30, 2024

General line - 0115112241

පාසල් ආරම්භය කල්දමන්නැයි අස්ගිරි මහ නා හිමි රජයෙන් ඉල්ලයි

තරංග රුක්ෂාන් ජයසේකර / කමල් සුරවීර




රටේ පවතින වාතාවරණය තුළ හෙට දිනයේ පාසල් ආරම්භ කිරීම සුදුසු නොවන බව අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරාකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසනවා. උන්වහන්සේ සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පාසල් ආරම්භ කිරීම තවත් දින කිහිපයක් කල් දමන ලෙසටයි. අස්ගිරි නාහිමියන් මෙම අදහස් පළකළේ මහනුවරදී අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන ද මාධය වෙත අද ප්‍රකාශ කලේ හෙට දිනයේ පාසල් විවෘත කිරීම යෝග්‍ය නොවන බවයි. 

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිටත් අවශ්‍ය සියලු ආරක්ෂක විධි විධාන සකස්කර අවසන් බවයි. 

මේ අතර දිවයින පුරා සියලු පාසල් අද විශේෂ සෝදිසියකට ලක්කළා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද සිය දායකත්වය ලබා දුන්නා. 

දෙමාපියන්ගේද ඉහළ උනන්දුවක් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ලැබී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 
පාසල් යළි ආරම්භ කිරීම සඳහා හැකිවන පරිදි දිවයින පුරා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සාර්ථකව සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කලේ.

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මෙලෙස පැහැදිලි කළා.


මේ අතර කොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සැලසීම සඳහා අත්‍යාවශ්‍ය පියවරක් ලෙස එම පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස්, වෑන් සහ අනෙකුත් රථවාහන ගාල් කිරීම සඳහා රථ නැවතුම් ස්ථාන පොලීසිය විසින් මේ වනවිටත් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

ඒ පිළිබඳ සියලු තොරතුරු  ලබා ගැනීමට මෙතැනින් පිවිසෙන්න http://nethnews.lk/article/66062