Thursday, May 9, 2024

General line - 0115112241

අමාත්‍ය රිෂාඩ් සහ ආණ්ඩුකාර හිස්බුල්ලා අනිවාර්ය නිවාඩු යා යුතුයි - උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි




අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා දෙපළ අනිවාර්යෙන් නිවාඩු ගොස් ඔවුන්ට විරුද්ධව ඇති පරීක්ෂණවලට සහාය දැක්විය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් අවධාරණය කර සිටිනවා. බත්තරමුල්ලේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර උප කාර්යාලයේ අද (01)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ සදහන් කර සිටියා,

" ලංකාවේ අපි පිළිගන්න ඕනේ සිංහල සහ මුස්ලිම් අය අතර වෛරයක් වැපිරෙමින් තිබෙනවා. මෙයට හේතු කාරණා රාශියක් තිබෙන්නට පුළුවන්. 21 වෙනිදා සිදුවීම වෙන්න පුළුවන්, සයින්දමර්දු, ඔය කුරුණැගල වෛද්‍යවරයාගේ වැනි ප්‍රශ්න වෙන්නට පුළුවන්. මා ඉතා ඕනාකමින් ඉල්ලා සිටිනවා රටේ ගැඹුරුව දිව යන අවිශ්වාසය වෙනුවට විශ්වාසය සහෝදරත්වය සහ පැහැදිලිකම ගොඩනගන්නට නම් මා මිත්‍ර හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් දෙදෙනා ගැන චෝදනා රාශියක් තිබෙනවා. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා චෝදනාව ඔප්පු වෙනතුරු සියල්ලෝම නිර්දෝශිය.

ඒ සංකල්පය මත නිසාම මා හිතනවා ඒ දෙපළ රටේ පුරවැසියන් හැටියට වගකිවයුත්තන් හැටියට ඒ අය දැන් සාරධර්මිකව නිවාඩු යන්න ඕනයි කියලා මා හිතනවා. ඒ අය රටත් සමාජයත් ශක්තිමත් කරන්නට නම්, මේ ප්‍රශ්නය තවදුරටත්  ඔඩුදුවන්නට ප්‍රථම මේ සම්ප්‍රදාය අනුගමනය කළ යුතුයි. රාජ්‍ය ආයතනයක වුනත් කෙනෙකුට යම් චෝදනාවක් තිබෙනවා නම් ඔහු හෝ ඇය එක්කෝ ප්‍රධානියා නිවාඩු යවනවා නැත්නම් ඒ අය විමර්ශන ඉවරවෙනතුරු නිවාඩු ගිහින් ඒ විමර්ශනයට බාධා නොවන ආකාරයෙන් විවෘත මනසකින් නැවත එනවා. 

රිෂාඞ් ඇමතිවරයාත් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාත් වැරදි කර නැත්නම් මම හිතන්නේ හොඳම අවස්ථාව හොඳම ක්‍රමවේදය ඒ අය මාසයක් විතර නිවාඩු ගිහිල්ලා අවශ්‍ය කරන විමර්ශන සියල්ල කරගන්නට කියලා සී අයි ඩී යට හෝ බුද්ධි අංශයට හෝ විමර්ශන කරන ඕනෑම තැනකට ආමන්ත්‍රණය කරලා ඒ විමර්ශන කරන්නට ඉඩ දීම සහ එලෙස ඉඩ දී දවස් 30 ක හෝ 45 ක නිවාඩුවක යනවා නම් මම හිතනවා කඩා වැටී තිබෙන මේ සමාජ විශ්වාසය ගොඩනගන්නට ඒ අය පුරවැසියන් හැටියට ලාංකිකයින් හැටියට යුද්ධය වෙනුවට සාමය ප්‍රිය කරන අය හැටියට කළ හැකි ලොකුම දේ හැටියට. 

ඒ නිසා මා මිත්‍ර සම ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් දෙපළගෙන්ම මා පුරවැසියෙකු සහ වෘත්තීයවේදියෙකු ලෙසින් ඉල්ලා සිටින්නේ ඔබ දෙපළම නිවාඩු යා යුතුයි. ඒ තුළින් ජනාධිපතිතුමාට අගමැතිතුමාට සහ සෙසු අයට පුළුවන් වෙනවා ඔබගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්නට වඩාත් හොඳ අවස්ථාවක් ලබා දෙන්නට."