Friday, May 10, 2024

General line - 0115112241

පාකිස්තානයට විශාල අභියෝගයක්




කි‍්‍රකට් ඉතිහාසයේ දැවැන්තම ජය අපේක්ෂාවෙන් පකිස්තානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තීරණාත්මක තරගයකට අද එක්වනවා. 

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි. පකිස්තානු කණ්ඩායම මෙම තරගය දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගත හොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. ඒ අනුව පකිස්තානු කණ්ඩායම මෙම තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදී ලකුණු 350ක් රැස් කර, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 311ක ජයක් ලැබීම අනිවාර්යයි. 

එමෙන්ම බංග්ලාදේශයට එරෙහිව ලකුණු 316ක හෝ ලකුණු 321ක පරතරයකින් මෙම තරගය ජය ගත හොත් පකිස්තානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇති.  
ඒ සඳහා ඔවුන් අද තරගයේදී පළමුව පන්දුවට පහරදී ලකුණු 400ක් හෝ 450ක් රැස් කළ යුතුයි. පකිස්තානු කණ්ඩායම අද තරගයේදී ලකුණු 308කට අඩුවෙන් සියල්ලන් දැවී ගියහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවන්නේ නැහැ. 

එමෙන්ම අද තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව උදා කර ගත හොත් පකිස්තානයට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති. පකිස්තාන කණ්ඩායමට මෙවැනි තත්ත්වයක් උදා වූයේ නවසීලන්ත කණ්ඩායම වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගෙන ප‍්‍රසාද ලකුණු 11ක් ලබා එම සටහනේ සිව්වන ස්ථානයේ පසුවීම හේතුවෙන්. මේ වන විට පාකිස්තානු කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 9ක් ලබා එම සටහනේ පසුවන්නේ 5 වන ස්ථානයේයි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පකිස්තානු කණ්ඩායමට අද තරගයේදී කි‍්‍රකට් ඉතිහාසයේ දැවැන්තම ජය වාර්තා කිරීමට සිදුව තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා අවසන්.