Friday, May 10, 2024

General line - 0115112241

බෝරා සමුළුවේ මෙහෙයුම් විධිමත් කිරීමට රජයේ අවධානය

ඩිල්ෂාන් මඩවල/කසුන් කැලුම්/ලහිරු කපුගේ




කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මතුව ඇති තදබදය පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු බලධාරීන් ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ තුළ මේ දිනවල පවතින වෙනදා නොමැති තදබදය හේතුවෙන් ගුවන් මගීන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි නෙත් නිවුස් ඊයේ (02) අනාවරණ කළේ. මෙම තත්ත්වය පිළිබඳ නෙත් නිවුස්, ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ගුවන් තොටුපළේ පවතින තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය පිළියම් යොදා ඇති බවයි. 

බෝරා සමුළුව අවසන්වීමෙන් පසු ඊට සහභාගී වූ බෝරාවරුන් යළි දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළ තුළ මෙවැනි තදබදයක් ඇතිවුවහොත් ඊට යොදා ඇති පිළියම් කවරේදැයි ද ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත විස්තර කළා.

එහිදී සඳහන් කෙරුණේ තිබෙන සම්පත් යටතේ කල හැකි උපරීම වැඩපිළිවෙලක් සකස් කරන බවයි

කෙසේවෙතත්, ගුවන් මගීන් බොහෝ දෙනෙකු චෝදනා කළේ මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන අවස්ථාවකදී විදෙස් රටවල ඒ වෙනුවෙන් විශේෂ සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබීම දක්නට ලැබුණත් එවැනි සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙම සමුළුව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ කි‍්‍රයාත්මක නොවූ බවයි.

බෝරා සමුළුව හේතුවෙන් ගුවන් තොටුපළේ සහ බම්බලපිටිය අවට මතුව ඇති තත්ත්වය පිිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින් ද අද අනාවරණ කෙරුණා. 

මේ අතර බම්බලපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් බෝරා සමුළුව පැවැත්වෙමින් තිබියදී විවිධ කටයුතු සඳහා බම්බලපිටියට පැමිණෙන සහ බම්බලපිටිය හරහා ගමන් කරන පිරිස් දැඩි දුෂ්කරතාවන්ට පත්වූ අවස්ථාවන් පිළිබඳව ද නෙත් නිවුස් ඊයේ වාර්තා කළා. සිය කාර්යාල පෙනෙන මානයේ තිබියදී ඒ වෙත යාමට රථවාහන වලින් පැමිණෙන සේවකයින් දැඩි අසීරුතාවන්ට පත්වූ බවයි එහිදී වාර්තා වුණේ. 

එමෙන්ම යතුරුපැදි මග නවතා කාර්යාලයට යාමට පොලිස් නිලධාරීන් උපදෙස් දුන්නත් එලෙස යතුරු පැදිය නවතා තැබීමට ස්ථානයක්ද නොවු බවයි ඇතැම් පිරිස් චෝදනා කළේ.

බෝරා සමුළුවේ ආරක්ෂාවට බෝරාවරුන් පිරිසක් ද යොදවා සිටින බැවින් භාෂා ගැටළු නිසා ඔවුන් සමග සන්නිවේදනයේදී පොලිස් නිලධාරීන් ද අපහසුතාවයට පත් වූ අවස්ථා ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

නෙත් නිවුස් මේ පිළිබඳ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ බෝරා සමුළුව හේතුවෙන් විශේෂ ධාවන සැලැස්මක් ද කි‍්‍රයාත්මක වන බවයි. 

ඒ යටතේ වෙරළ පාරේ කොටසක් වසා දමා තිබුනද, ගාලූ පාර සහ ඩුප්ලිකේෂන් පාර ඇතුළුව සෙසු මාර්ගවල වාහන තදබදයක් ඇති විය හැකි බවද ඔහු පැවසුවා.

කෙසේවෙතත් තදබදය අවම කිරීමට විකල්ප මාර්ගද පොලිසිය විසින් යෝජනා කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් සිහිපත් කෙරුණේ. ඒ අනුව මොරටුව දෙස සිට පැමිණෙන වාහන රත්මලාන, දෙහිවල හෝ වැල්ලවත්ත යන ප‍්‍රදේශවලින් ගාලූ පාර මග හැරීම සුදුසු වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

කොළඹ දෙස සිට පිටවන වාහන කොල්ලූපිටියෙන් පුරහල දෙසට ධාවනය කර ඉදිරියට ගමන් කිරීම වඩාත් සුදුසු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අද (03) දිනයේද මෙම ධාවන සැලැස්ම කි‍්‍රයාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

රටවල් 40 ක බෝරාවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම බෝරා සමුළුව ලබන 10 වැනිදා තෙක් පැවැත්වෙනවා. 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත මෙතැනින්)