Sunday, April 28, 2024

General line - 0115112241

වැටුප් විෂමතා ගැන තීරණාත්මක සාකච්ඡා ඇරඹෙයි - ඇරයුම් නොලැබීමෙන් වෙද්‍යවරු කිපෙති

සජිත් තිලකරත්න / ඩිල්ෂාන් මඩවල




ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින් පෙන්වා දෙන වැටුප් විෂමතා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණාත්මක සාකච්ඡා මේ වන විට පැවැත්වෙනවා. මුදල් අමත්‍යංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්ද කැදවා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. එක් එක් ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡා සඳහා සහභාගීකර ගැනෙන්නේ වෙන් වෙන්වයි. 

ඉකුත්දා දෙදින වැඩවර්ජනය යෙදුනු සහ පවතින වැටුප් විෂමතා නිවැරදි නොකළහොත් යළිත් දින පහක වැඩවර්ජනයක් සිදු කරන බවට අනතුරු ඇගවූ ගුරු වෘත්තීය සමිති සාකච්ඡා සඳහා පළමුව සහභාගීකර ගැණුනා. දෙවනුව සාකච්ඡා සඳහා සහභාගීකර ගැණුනේ විදුහල්පති වෘත්තීය සමිතිවල නියෝජිතයින්.

මේ වන විටත් වැඩවර්ජනයක යෙදී සිටින දුම්රිය වෘත්තීය සමිතිවල නියෝජිතයින් තුන්වනුව සාකච්ඡා සඳහා සහභාගීකරවා ගැණූනා. අනතුරුව සාකච්ඡා සඳහා සහභාගීකර ගැණෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ වෘත්තීය සමිතියි. ඔවුන්ද වැටුප් විෂමතා නිවැරදි කරන්නැයි ඉල්ලා ඉකුත්දා වැඩවර්ජනයක් සිදු කළ අතර මේ වනවිටත් ඔවුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති අරගලයක යෙදී සිටිනවා.

කෙසේ වෙතත් වැටුප් විෂමතා පෙන්වා දෙමින් ඊට විසදුම් ඉල්ලා සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අද (30) පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා ආරාධනා කර නැහැ. ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරන බවයි එහි ලේකම් හරිත අලුත්ගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.

රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන්ද අද පැවැත්වෙන සාකච්ඡා සඳහා ආරාධනා ලැබී නැතැයි නෙත් නිවුස් වෙත් වාර්තා වුණා.