Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය වැඩ වැරුම හෙටත්

ඩිල්ෂාන් මඩවල




ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින් පෙන්වා දෙන වැටුප් විෂමතා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වුණා. මේ වන විටත් වැඩවර්ජනයක යෙදී සිටින දුම්රිය වෘත්තීය සමිතිවල නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට කැදවා සිටියත් සාකච්ඡාවෙන් පසුව ඔවුන් පැවසුවේ සිය වැඩවර්ජනය තවදුරටත් සිදු කෙරෙන බවයි.

ඉකුත්දා දෙදින වැඩවර්ජනය යෙදුනු සහ පවතින වැටුප් විෂමතා නිවැරදි නොකළහොත් යළිත් දින පහක වැඩවර්ජනයක් සිදු කරන බවට අනතුරු ඇගවූ ගුරු වෘත්තීය සමිතිද සාකච්ඡා සඳහා කැදවනු ලැබ තිබුණා. එහෙත් සාකච්ඡාවෙන් පසු ඔවුන්ද පැවසුවේ යොජිත් දින 05ක වැඩ වර්ජනයේ වෙනසක් නොවන බවයි.

වැටුප් විෂමතා පෙන්වා දෙමින් ඊට විසදුම් ඉල්ලා සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අද පැවැත්වුණු මෙම සාකච්ඡා සඳහා ආරාධනා කරතිබුනේ නැහැ. ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරන බවයි එහි ලේකම් හරිත අලුත්ගේ නෙත් නිවුස් වෙත පැවසුවේ. රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන්ද අද පැවැත්වෙන සාකච්ඡා සඳහා ආරාධනා ලැබී නැතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර රණවිරු සංවිධාන කිහිපයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදු කළ සත්‍යග්‍රහය අද පස්වරුවේ අවසන් කෙරුණා. ඒ, පළමුව අමාත්‍ය සජිත් ප්‍රේමදාසද පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුවයි. 

රණවිරු ඉල්ලීම්වලට සංවේදී වී ඔහුන්ගේ ගැටළු හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සාකචඡාවේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තම ආණ්ඩුවක් යටතේ රණවිරු ගැටළු කඩිනමින් විසදාලන බවයි. 

තමන් වෙත පැමිණි දේශපාලන නියෝජිතයන් ලබා දුන් පොරොන්දු විශ්වාස කරන බවත් ඒ අනුව සත්‍යග්‍රහය අවසන් කරන බවත් රණවිරු සංවිධාන පැවසුවා. කෙසේ වෙතත් පොරොන්දු කඩ වුවහොත් යළි අරගල ආරම්භ කරන බවයි ඔවුන් අවධාරණය කළේ.