Friday, February 14, 2025

General line - 0115112241

ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද කසළ රැගත් ටිපර් රථ 28 ක් අරුවක්කාළු කසළ අංගනයට

ජූඩ් සමන්ත




අරුවක්කාළු කසළ අංගනය වෙත කසළ රැගෙන ආ ටිපර් රථ 28 කට බාධා කරමින් ප්‍රදේශවාසීන් ආරම්භ කළ විරෝධතාවය අවසන් කිරීම හේතුවෙන් අදාළ ටිපර් රථවල ගෙන ආ කසළ, එම අංගනයට බැහැර කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ අරුවක්කාළු කසළ අංගනය වෙත කසළ බැහැර කිරීම සඳහා කොළඹ සිට පැමිණි ටිපර් රථ 28 කට අංගනය වෙත ඇතුලු වීමට නොහැකි වන ලෙස අවහිර කරමින් ප්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි.

පැය 09 ක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පැවසුවේ, අරුවක්කාළු කසළ අංගනය හේතුවෙන් සිය ගම්බිම් පවා අත්හැර යාමට තමන්ට සිදුව ඇති බවයි. පසුව වනාතවිල්ලුව පොලිසිය මැදිහත් වී පුත්තලම අධිකරණයට කරුණු දක්වා සහනයක් ලබාදෙන බව පැවසීමෙන් පසු, ප්‍රදේශවාසීන් සිය විරෝධතාවය අවසන් කර තිබෙනවා.

.................................................

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙනා ටිපර් රථ 28ක මග නවතයි - ප්‍රදේශවාසීන් විරෝධතාවක

අරුවක්කාලු කසල අංගනය වෙත කසල රැගෙන පැමිණි ටිපර් රථ 28 කට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී පිරිසක් විරෝධතාවයක නිරත වෙමින් සිටින බව nethnews.lk වාර්තාකරු පවසනවා.

අද (01) අලුයම් කාලයේ සිට මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි වාර්තා කළේ.

අරුවක්කාලු කසල අංගනය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.

අරුවක්කාලු කසල අංගනය හේතුවෙන් තමන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව සේරක්කුලිය ධීවර ගම්මානයේ පදිංචිකරුවන් පසුගිය 29 වැනිදා වනාතවිල්ලුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (30) දහවල් වනාතවිල්ලුව නගරයේදී විරෝධතාවයක්ද පැවති අතර, පසුව ඔවුන් විසින් සකස් කරන ලද සංදේශයක්ද වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දීම සිදු කරන ලදි.

අද අලුයම් කාලයේ කසල රැගෙන පැමිණි ටිපර් රථවල මග හරස් කර ඇති ගම්වාසීන් එම රථවලට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී විරෝධතාව ආරම්භ කර තිබෙනවා. 

මෙම විරෝධතාවයට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

මේ අතර කොළඹ එකතු වන කසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම සඳහා ඉදිරි මාස 06 ක කාලයක් සඳහා රුපියල් කෝටි 72 ක මුදලක් කොළඹ නගර සභාව විසින් වෙන් කිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.