Friday, February 14, 2025

General line - 0115112241

"බැරි දෙයක් නෑ නේ" - ලකුණ ගැන ඇසූ ප්‍රශ්නයට බැසිල්ගෙන් පිළිතුරු

සජිත් තිලකරත්න/මහේෂ් චතුරංග




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. දෙපාර්ශවය අතර ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මේ බව සඳහන් කළා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඉදිරියේදී ලකුණ වෙනස් වෙන්න පුළුවන්ද යනුවෙනි.

ඊට පිළිතුරු දුන් බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේ "ඒක සාකච්ඡාවලදි කෙරෙන්න ඕන එකක්. රට සුරක්ෂිත කර ගැනීමට ගතහැකි ඕනෑම පියවරක් අපි ගන්න සූදානම්."  යනුවෙනි.

එහිදී මාධ්‍යවේදීන් යළි ප්‍රශ්න කළේ ශ්‍රීලනිපය සමග සන්ධානගතවීම සඳහා ලකුණත් ඕනෙන්ම වෙනස් කළ හැකිද යන්නයි.

ඊටද පිළිතුරු දෙමින් බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේ "නෑ ඉතින් බැරි දෙයක් නෑ නේ.. පුළුවන් දේවල් කරනවා" යනුවෙනි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදෙනවාද? නැද්ද? යන්න අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (30) රාති‍්‍රයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවද රැස් වුණා. එම රැස්වීම එකඟතාවකින් තොරව අවසන් කෙරුණු අතර පසුව තීරණය කෙරුණේ ලබන 5 වැනිදා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව යළි කැදවීමටයි.

සිය පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදීමට නම් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නම්‍යශීලිව කටයුතු කළයුතු බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පැවසුවේ.