Friday, February 14, 2025

General line - 0115112241

සජින් වාස් ගේ නඩුවට දින නියම කරයි 

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී සජින් වාස් ගුණවර්ධන විසින් නීති විරෝධීව අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා මත ගොනු කර ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 25 සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙබරවාරි මස 25 දා සිට 28 දක්වා කාලය තුළ විභාගයට ගැනීමට දින නියම කරන ලදී .

ඒ අනුව නඩුවේ සාක්ෂිකරුවන් පස් දෙනෙකුට ඉදිරි දින පැමිණීමට අධිකරණය සිතාසි නිකුත් කරනු ලැබුවා.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට අයත් "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සදහා  සක්‍රීයව දායක වී ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි . 

 සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් 306,268,194 ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට  නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇත .