Friday, February 14, 2025

General line - 0115112241

දුම්රිය සේවකයින් 07වැනි දිනටත් අද වර්ජනයේ - මගීන්ට දැඩි පීඩා

තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




දුම්රිය සේවකයින් අද (02) 07 වන දිනටත් වැඩ වර්ජනයේ නිරත වනවා. ඔවුන් පවසන්නේ මෙතෙක් තම වැටුප් විෂමතා පිළිබඳ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

ආණ්ඩුවෙන් නිල තීරණයක් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය සේවකයින් අවධාරණය කළා. 

දුම්රිය සේවකයින් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ දුම්රිය සේවය සංවෘත සේවයක් බවට පත්කිරීමට පවා කැබිනට් මණ්ඩලය ඊයේ (01) අනුමැතිය දී ඇති පසුබිමකයි.

සංවෘත සේවාවක් බවට පත්කිරීමෙන් ඔවුන්ට සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කෙරෙනු ඇති. කෙසේවෙතත්, එම යෝජනාව ද පිළි නොගන්නා දුම්රිය වෘත්තීය සමිති තවදුරටත් වර්ජනයේ නිරතවනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම ගැටලු සඳහා නිශ්චිත විසඳුමක් ලබාදීමට එකඟතාවයන්ට පැමිණියත් එම විසඳුම නියමිත පරිදි ලබාදීමට කිසිඳු බලධාරීයෙක් මේ දක්වා කටයුතු කර නොමැති බවයි.

මෙලෙස මගීන් ද අපහසුතාවයට පත්කරමින් දුම්රිය සේවකයින් තවදුරටත් වැඩවර්ජනයේ නිරතවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා. ඔහු අවධාරණය කළේ සේවයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සේවකයින්ට පවා විවිධ තර්ජන සිදුවන බවයි. 

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

කෙසේවෙතත්, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියාසිටියේ කුමන තර්ජන පැවතිය ද වර්ජනය අවසන් නොකරන බවයි.

සාමාන්‍යයෙන් දෛනිකව උදෑසන කාලයේ ධාවනය වන දුම්රිය සංඛ්‍යාව 30 ක්. ඊයේ (01) දිනයේදී ධාවනය වී ඇත්තේ දුම්රිය 10 ක් පමණයි. අද (02) දිනයේදී දුම්රිය 15 ක් පමණ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවයි දුම්රිය බලධාරීන් ප‍්‍රකාශ කළේ.