Thursday, February 13, 2025

General line - 0115112241

පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම විභාග වෙයි

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ කරුණු සලකා බැලීම අද (02) උදෑසන අභියාචනාධිකරණයේ දී ආරම්භ වුණා.

එහිදී මෙම රිට් පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. කෙසේ වෙතත් මූලික කරුණු විමසීමකින් පසුව මූලික විරෝධතා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා.

මේ වන විට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප්‍රනාන්දු සිය මූලීක කරුණු දැක්වීම සිදුකරමින් සිටින බවයි nethnews.lk අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වෙමින් පවතිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් මෙරට දී විදේශ ගමන් බලපත‍්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇති බවයි. විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකර මෙම බලපත‍්‍ර ඔහු විසින් ලබාගෙන ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා. එම විදේශ ගමන් බලපත‍්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන්.