Thursday, February 13, 2025

General line - 0115112241

ද්විත්ව පුරවැසිභාවය ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණයට පැහැදිලි කිරීමක්

අධිකරණ වාර්තාකරු/සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොණුකළ රීට් පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම හෙට පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.

අද පෙරවරු 10 ට පමණ මෙම පෙත්සම් විභාගය ආරම්භ කෙරුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙත්සමට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කළා.

සිය සේවාදායකයාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවත්, එම විමර්ශන අවසන්ව නොමැති මොහොතක මෙම පෙත්සම සළකා බැලීමට බලයක් නොමැති බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එහිදි කියාසිටියේ. පෙත්සම මගින් දේවේශ සහගත ලෙස කරුණු ගොණුකර ඇති බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඊට අමතරව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කළ යුතු වුවත් එලෙස නම් කර නොමැති බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කියාසිටියා.

පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල එහිදී දැනුම් දුන්නේ මෙම විරෝධතා සැලකිල්ලට ගැනීමට පෙර පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීමට අධිකරණය ඉඩ සැලසිය යුතු බවයි.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. 

මෙම පෙත්සමේ 6 වන වගඋත්තරකරු වන මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ නොවැම්බර් මස 18 වන දින ජනාධිපතිවරණයෙන් ජයගත් බවත් නොවැම්බර් 21 වනදා වනවිට ගෝඨාභය රාජපක්‍ෂට ද්විත්ව පුරවැසි සහතිකයක් නිකුත් කර ඇති බවත් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු අධිකරණය හමුවේ කියාසිටියා.

නොවැම්බර් 18 වනදා සිකුරාදා දිනයක් වූ බවත් ඉන් පසුව එළැඹුණේ සති අන්තයක් බවත් කෙසේවෙතත් නොවැම්බර් 21 වන සදුදා දින වනවිට ගෝඨාභය රාජපක්‍ෂට ද්විත්ව පුරවැසිභාවය සදහා සහතිකය නිකුත් කර ඇති බවත් ඔහු අභියාචනාධිකරණය හමුවේ කියාසිටියා.

කිසිදු අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයෙකු පත්කර නොතිබූ අවස්ථාවක එය නිකුත් කර ඇති බැවින් ගෝඨාභය රාජපක්‍ෂට හිමි යැයි කියන ද්විත්ව පුරවැසි සහතිකය වලංගු භාවයක් නොමැති ලේඛණයක් බවයි නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු අධිකරණය හමුවේ කියාසිටියේ.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු කියාසිටියේ අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති අවස්ථාවකදි  ඕනෑම විෂයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලතල ඇති බවයි. 

මෙම පෙත්සම ගොණුකර ඇත්තේ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන දෙදෙනායි.