යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය රැගෙන ගමන් කරමින් සිට අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පසුගිය සමයේ සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.
පසුගිය මස 24 වැනිදා හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 300ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනාව ඉංගිරිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කළ රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා විසින් ඉංගිරිය ප්‍රදේශයේ වෙළඳ සැළකට 2019.09.02 දින අයුතු ලෙස ඇතුළු වී එහි සේවිකාවකට අවි පෙන්වා බිය ගන්වා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය, කිරිඇල්ල ප්‍රදේශයේ 2019.09.20 දින ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය, අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී 2019.08.29 වන දින සණස බැංකුවට අයුතු ලෙස ඇතුළු වී මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය ආදී තවත් සිද්ධීන් ගණනාවක් සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කොල්ලකෑම්වලින් සොරාගත් පවුම් 17කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති අතර සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් වන්නේ සේරසිංහ ආරච්චිලාගේ විජේපාල නැමැති වයස අවුරුදු 42 ක් වන තලගහකන්ද, තෙප්පනාව, කුරුවිට පදිංචිකරුවෙකු සහ වයස අවුරුදු 42ක් වන ලොරන්ස්ඩෙමියන් ද ඔලිවේරා නැමැති කළුකැලේ, තෙප්පනාව, කුරුවිට පදිංචිකරුවෙකි.