Thursday, February 13, 2025

General line - 0115112241

සජිත් ඇප මුදල් බඳියි - ලකුණ හංසයා

හේමන්ත කහවලගේ/කසුන් කැළුම්




නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සදහා හංසයා ලකුණ යටතේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් අද ඇප මුදල් තැන්පත් කළා. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ලේකම් ශර්මිලා පෙරේරා විසින් එම ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ වනවිට ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයින් 22 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්‍ෂ 12 ක්, වෙනත් දේශපාලන පක්‍ෂයකින් හා ස්වාධීන කණ්ඩායම් නවයක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

පිළිගත් දේශපාලන පක්‍ෂයක ජනාධිපති ධුර අපේක්‍ෂකයෙකු රුපියල් 50,000 ක මුදලක් ඇප මුදල් වශයෙන් තැන්පත් කළයුතුයි. ස්වාධීන කණ්ඩායමක අපේක්‍ෂකයෙකු රුපියල් 75,000 ක මුදලක් ඇප මුදල් වශයෙන් තැන්පත් කළයුතු වනවා. 

ඇප මුදල් තැන්පත් කිරීම ලබන ඉරිදා මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිතයි. ඉදිරි ජනාධිපතිවරණය සදහා ලබන 7 වනදා නාමයෝජනා භාර ගැනෙන අතර එය එදින පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරෙනවා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා. ඉකුත් 29 වනදා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන්වීමට නියමිතව තිබූ අතර පසුව එය අද මධ්‍යම රාති‍්‍රය දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තා. ඒ, ඉකුත්දා දිස්ති‍්‍රක් කිහිපයකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.