Thursday, February 13, 2025

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ ලියකියවිලි සිංගප්පූරුව අතේ

දිල්ශාන් තුෂාර/තරංග රුක්ෂාන්




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව යැවූ ලියකියවිලි සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාරා ජයරත්න සඳහන් කළේ අදාළ ලියකියවිලි එරට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සලකාබලමින් සිටින බවයි. 

බැඳුම්කර සිද්ධියේ ප‍්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අදාළ පිටු 21,000 කින් යුත් ලියකියවිලි සිංගප්පූරුවේ පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ඉකුත් දා යොමුකර තිබුණා.

ඒ, අදාළ ක‍්‍රියාමාර්ග සඳහා සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට යැවීමේ අරමුණින්. 

මේ වන විට අධිකරණය මඟහැර සිටින අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මෙරට අධිකරණය මීට පෙර වරෙන්තු ද නිකුත් කළා. 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10, 058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංචා කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් වරදක් සිදු කර ඇති බවටයි චෝදනා එල්ල කර ඇත්තේ.