Friday, February 14, 2025

General line - 0115112241

අරුවක්කාලුවට කොළඹ කුණුගෙන යාම හෙටින් නවතී




කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට සිට අත්හිටුවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ, කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ අරුවක්කාලු කසල අංගනය පිළිබඳ කොළඹ නගරාධිපතිනිය ඉකුත් දා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බවයි. 

කැලිකසල ගැටළුව විසඳීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය උපරිම ක්‍රියාමාර්ග ගත් බව එම අමාත්‍යංශයේ ලේකම්  නිහාල් රූපසිංහ පවසනවා. කෙරවලපිටිය කසල අංගනය වසා දැමීමෙන් පසුව කොළඹ කැලිකසල ගැටලුව විසඳීමට තිබූ එකම විසඳුම අරුවක්කාලු කසල අංගනය බවයි ඔහු පෙන්වා දුන්නේ.

එවන් තත්ත්වයක් තුළ නගරාධිපතිනිය ඉකුත් දා මාධ්‍ය වෙත සිදු කළ විවේචනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යංශය කණගාටු වන බව ද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ පවසනවා. මෙම ගැටළුව සම්බන්ධයෙන් හෙට දිනයේ බලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.