Saturday, September 21, 2024

General line - 0115112241

ආපදා හේතුවෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට සහනයක් - වැඩි විස්තර සඳහා 117 අමතන්න




පවතින ආපදා හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පිළිබඳ අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හෙට (02) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ඊට අයදුම්කරුවන් හත් ලක්‍ෂ 17,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඔවුන් සඳහා ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන ගණන 4,987 ක්.

මේ අතර හෙටින් ආරම්භ වන මෙවර සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාරගත රැඳවූවන් 20 දෙනෙකු පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන 02 ක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ වටරැක බන්ධනාගාරයේ ස්ථාපිත බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

වටරැක බන්ධනාගාරයේ රැදවූවන් 13 දෙනෙකු විභාගයට පෙනී සිටිමට නියමිතයි. මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයේදී රැදවූවන් 7 දෙනෙකු පෙනී සිටින අතර ඒ අතර LTTE සංවිධානයේ සාමාජිකයන් යැයි රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින දෙදෙනෙකුද වනවා. 

වයස අවුරුදු 40 ක පමණ රැදවූවෙකු ද මැගසින් බන්ධනාගාරයේදී විභාගයට පෙනී සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඔවුන් සියළුදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ විභාගයට පෙනී සිටීමට නියමිතයි.

යම් ආපදා තත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ අධ්‍යක්ෂ හදිසි මෙහෙයුම් ( 0773 957 903) අධ්‍යක්ෂ පෙර සුදානම් (0773 957 898) හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුර්ව දැනුම්දීම් (0772 320 530) අමතන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එසේම සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ක්‍රියාත්මක ජාතික හදිසි මෙහෙයුම් ඒකක අංක 0702 117117/ 0113 668 032/ 0113 668 028/ 0113 668 0289/  0113 668 030 යන දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.