Sunday, April 28, 2024

General line - 0115112241

ඉරාන හමුදා ප්‍රධානියාට මරු කැඳවූ "Hunter-Killer" මෙහෙයුම : ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ කිලෝමීටර් 1400ක් ඈතින් පිහිටි ස්ථානයක සිටයි (PHOTOS)




ඉරාන විප්ලවීය හමුදාවේ කුද්ස් බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් කාසීම් සුලෙයිමානි ඉලක්ක කර ගනිමින් එල්ලවූ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය කටාර් හි සිට මෙහෙයවා ඇති බවට වාර්තා වනවා.

කටාර් හි ස්ථානගත කර තිබෙන අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානයේ සිට ගුවන් ගත කරන ලද නියමුවන් රහිත MQ-9 ‘hunter-killer’ වර්ගයේ  ඩ්‍රෝන යානාවක ආධාරයෙන් ඉරාන හමුදා ප්‍රධානියා ඇතුළු 10 දෙනෙකු රැගත් වාහන දෙක ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රහාරය සඳහා යොදා ගත් නියමුවන් රහිත MQ-9 ‘hunter-killer’ වර්ගයේ ඩ්‍රෝන යානාව මෙහෙයවා ඇත්තේ කිලෝමීටර් 1470ක් දුරින් පිහිටි ස්ථානයක සිට බවයි කරුණු හෙළිව ඇත්තේ.

අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශවිය හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරාන හමුදාව සහ ඔවුන්ගේ සහය ලබන ඉරාකයේ සිටින කැරළිකාර සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවනු ලබන කුද්ස් බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් කාසීම් සුලෙයිමානි ඉලක්ක කර ගනිමින් එල්ලවූ මෙම ප්‍රහාරය වසර ගණනාවක සිට සිදුකළ බුද්ධි මෙහෙයුමක ප්‍රතිපලයක් බවයි අමෙරිකානු ආරක්ෂක බලධාරීන් සඳහන් කරන්නේ.

සිරියාවේ සිට ඉරාකය බලා ගුවන් මගින් පැමිණි ජෙනරාල් කාසීම් සුලෙයිමානි පිළිගැනීම සඳහා ඉරානයේ ආධාර ලබන ඉරාකයේ සන්නද්ධ කණ්ඩායමක නියෝජ්‍ය ප්‍රධානියා වන අබු මහඩි අල්-මුහන්දිස් බැග්ඩෑග් ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා. ඉන් පසුව ඉරාන හමුදා ප්‍රධානියා සහ ඉරාක සන්නද්ධ කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානියා සහ ඔවුන්ගේ උපදේශකවරයෙක් රියදුරු එක් වාහනයකට ගොඩවී ඇති අතර ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් තවත් වාහනයකට ගොඩවී තිබෙනවා.

මෙම පිරිස රැගත් කලු පැහැති ටොයෝටා SUV වර්ගයේ වාහන දෙක බැග්ඩෑග් ගුවන් තොටුපල පසුකර ඉදිරියට එනවාත් සමග ඩ්‍රෝන ප්‍රහාරයට ගොදුරුවී ඇති බවයි ඒ අසල සවිකර ඇති CCTV කැමරා පද්ධතියේ සටහන්ව ඇත්තේ. 

MQ-9 ‘hunter-killer’ වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානාව මෙම ප්‍රහාරය සඳහා යොදා ගෙන ඇත්තේ Hellfire R9X ‘Ninja’ වර්ගයේ ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අධි තාක්ෂණික මිසයිල බවයි හෙළිවී ඇත්තේ. ඉරාන සහ ඉරාක හමුදා ප්‍රධානින් දෙදෙනා රැගත් වාහනය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර දෙකක් සහ ඔවුන්ගේ ආරක්ෂකයින් රැගත් වාහනය ඉලක්ක කර ගනිමින් එක් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව හෙළිවී තිබෙනවා. 

මෙම MQ-9 ‘hunter-killer’ වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා හඳුන්වනු ලබන්නේ "නිහඩ ඝාතකයින්" යන අනවර්ථ නාමයෙන්ය. මන්ද එහි ශබ්දය හෝ එල්ලවන ප්‍රහාරය ගැන ඉලක්ක ගතවී සිටින පුද්ගලයින්ට කිසිදු පෙර හඳුනා ගැනීමක් කර ගැනීමට අපොහොසත් වීම නිසාය.

ඉරාන හමුදා නායකයා ඉලක්ක කර ගත හැකි බවට පෙන්ටගනය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට දැනුවත් කළ විගසම ඔහු එම ප්‍රහාරයට අනුමැතිය ලබාදී ඇති බවයි ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ප්‍රභල ඉලක්කයක් සඳහා ප්‍රහාර එල්ල කිරීමේදී ගත යුතු සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග වලින් බැහැරව ජනාධිපති ට්‍රම්ප් මෙහිදී කටයුතු කර ඇත්තේ ජෙනරාල් කාසීම් සුලෙයිමානි ඉලක්ක කර ගැනීම් තුලින් ඇමෙරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර අවම කර ගැනීමේ අරමුණින් බවයි පසුව පෙන්ටගනය නිවේදනය කර සිටියේ.

ජෙනරාල් කාසීම් සුලෙයිමානි ඉලක්ක කර ගැනීම සහ ඔහුගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා  අමෙරිකාව, ඊශ්‍රායාලය සහ සෞදි අරාබි බුද්ධි අංශ ඒකාබද්ධව දීර්ඝ කාලයක් පුරා බුද්ධි තොරතුරු රැස් කර ඇති අතර ඒ සඳහා අති නවීන තාක්ෂනික මෙවලම් මෙන්ම බුද්ධි නිලධාරීන් යොදා සිටි බවයි අමෙරිකානු ආරක්ෂක ප්‍රධානින් සඳහන් කරන්නේ.