Thursday, May 2, 2024

General line - 0115112241

කිතුල් නිෂ්පාදන සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්




කිතුල් ආශ‍්‍රිත කර්මාන්තය සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා එම කරුණු පෙන්වා දී ඇත්තේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදීයි. 

කිතුල් සහ තල් ප‍්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප‍්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. කිතුල් සහ තල් වගා ප‍්‍රවර්ධනයටත් ඒ ආශ‍්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන කි‍්‍රයාවලිය දිරි ගැන්වීම සහ කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ගේ අවධානයට යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. එම අමාත්‍යාංශය මගින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී‎ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වාර්ෂික දේශීය පොල් නිෂ්පාදනය බිලියන 03 ක් වන අතර ඉන් බිලියන 1.8 ක් පරිභෝජනයට ගැනෙන බැවින් වැඩි අපනයනයක් සඳහා වගාව ප‍්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.