Tuesday, April 30, 2024

General line - 0115112241

මතුගම ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කරයි : මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවයි




මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම ප්‍රදේශය හුදෙකලා කළ බවයි. 

මේ අතර, මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ පෝසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත සහ එක්සත් ජනපදය යන ප්‍රදේශ අද උදෑසන සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මේ අතර, ඊයේ දිනය තුළ තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 339 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළ හඳුනා ගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව 706 ක්. ඒ අතරින් 277 ක් වන වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 101 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 92 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 67,115 ක්. ඒ අතරින් 60,567 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,209 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.