Sunday, May 5, 2024

General line - 0115112241

ගාසා සටන්කාමීන් හා ඊශ්‍රායලය ඉදිරි දින දෙක තුලදී සටන් විරාමයකට ?




ගාසා සටන්කාමීන් හා ඊශ්‍රායලය ඉදිරි දින දෙක තුලදී සටන් විරාමයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් ඇති පසුබිමක් තුලයි.

කෙසේවෙතත් සටන් විරාමයක් සදහා එළඹෙන්නේ ද නැද්ද යන්න ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එමෙන්ම ඊශ්‍රායල් පුරවැසියන්ට සන්සුන් බව හා ආරක්ෂාව ලබා දෙන තුරු හමාස් සටන්කාමීන් වෙත අඛණ්ඩව ප්‍රහාර දියත් කිරීම සිය අධිෂ්ඨානය බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

ගාසා තීරයේ පිහිටි හඳුනා ගැනුණු හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය අද අලුයම ද ගුවන් ප්‍රහාර සියයක් පමණ එල්ල කර තිබෙනවා. හමාස් සටන්කාමීන් ද ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ගාසා ගැටුම් හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 227 දෙනෙකු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇති බහුතරයක් සටන්කාමීන් බව ඊශ්‍රායලය චෝදනා කළා.

කෙසේවෙතත් මියගිය පුද්ගලයින්, සිවිල් වැසියන් ද සටන්කාමීන් ද යන්න හමාස් සංවිධානය ද මෙතෙක් තහවුරු කර නැහැ. හමාස් සටන්කාමීන් ද මේවනවිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 4000 කට වඩා වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.

ගැටුම් නවත්වන ලෙස ඊශ්‍රායලය වෙත ඉල්ලීම් රැසක් එල්ල වුවත් දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන බව දේශපාලන විචාරකයින් පවසනවා.

රටතුළ පවතින දේශපාලන අර්බුදය හා තමාට එල්ල වී ඇති ජනතා විරෝධය මැඩපවත්වා ගනිමින් තවදුරටත් බලයේ රැඳී සිටීම සඳහා නෙතන්යාහු ගාසා ගැටුම් පලිහක් කොට ගෙන ඇතැයි විචාරකයින් පැවසුවා.