Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාවේ ආරක්ෂාව තර කරයි




ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණ කර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් තමිල්නාඩු  ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය දැඩි අවධානයක් යොමුකර ඇති බවද සදහන්.

ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් ඉකුත් සෙනසුරාදා පස්වරුවේ ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් අනාවරණ කර ගෙන ඇත්තේ ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටයි.

මේ හේතුවෙන් කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම පිරිසේ අනන්‍යතාව හෝ සංවිධානය පිළිබද මෙතෙක් තහවුරු වී නැහැ.

වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවාද ඉහළ දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.