Thursday, May 9, 2024

General line - 0115112241

පන්ජ්ෂීර් නිම්නයේ මසූද් පාලනය බිඳ වැටෙයි - ඇෆ්ගනිස්තානයම තලෙයිබාන් පාලනයට




ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ බලය පතුරුවා ගෙන සිටි මසූද් පාලනය බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, තලෙයිබාන් සංවිධානය සහ ජාතික ප්‍රතිරෝධී පෙරමුණ අතර දින ගණනාවක් පුරා පැවැති යුද ගැටුම්වලින් අනතුරුවයි. ඒ අනුව සමස්ථ ඇෆ්ගනිස්තානයේම බලය අත්පත් කර ගත් බවයි තලෙයිබාන් සංවිධානය නිවේදනය කර ඇත්තේ.

 පන්ජ්ෂිර්හි පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සටන්කාමීන් තලේබාන් ධජය ඔසවා ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේවනවිට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. පලාගිය සතුරන් සැගව සිටි පන්ජ්ෂීර් නිම්නය අල්ලා ගත් බවයි තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් ප්‍රකාශ කළේ. කෙසේවෙතත් පන්ජ්ෂීර් වැසියන් වෙනස් කොට නොසලකන බව ද ඔහු පැවසුවා. 

මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජාතික ප්‍රතිරෝධී පෙරමුණේ නායක අහමඩ් මසූද් පවසා ඇත්තේ තමන් ආරක්ෂිතව සිටින බවයි. ඊට අමතරව කිසිඳු තොරතුරක් ඔහු එහි දක්වා නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසන්නේ අහමඩ් මසූද් හා හිටපු උප ජනාධිපති අසරුල්ලා සලෙයි අසල්වැසි ටජිකිස්තානයට පළාගොස් ඇති බවයි.