Thursday, May 9, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ ඉන්ධන බෙදාහැරීමට බාධා - පිරවුම්හල්වල දිගු පෝළිම්




බ්‍රිතාන්‍යයේ සේවයේ නියුතු විදේශීය ට්‍රක්රථ රියදුරන්ට රාජකාරී සිදුකිරීම පහසු කිරීම සඳහා තාවකාලික වීසා ක්‍රමයක් හඳුන්වාදීම පිළිබඳ තොරතුරු හෙට දිනය වනවිට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සීමිත කාලයක් සඳහා පමණක් ආගමන නීතිවල යම් වෙනසක් සිදුකෙරෙනු ඇති අතර ඒ ඔස්සේ සීමාසහිත පිරිසකට රටට ඇතුළුවීමට අවසර දීමට ද නියමිතයි. මෙම ක්‍රමය ඔස්සේ තාවකාලික වීසා 5,000 ක් පමණ නිකුත් කරනු ඇතැයි පැවසෙනවා. 

රට තුළ මේවනවිට පවතින ට්‍රක්රථ රියදුරන්ගේ හිගය හේතුවෙන් බ්‍රිතාන්‍යය ගැටළු රැසකට මුහුණ පා සිටිනවා. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යය තුළ ට්‍රක්රථ රියදුරන් ලක්ෂයකගේ පමණ හිගයක් පවතින බවයි වාර්තා වන්නේ. 

රියදුරන්ගේ හිගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ද බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් රට තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා බාධා එල්ල වී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඉන්ධන පිරවුම්හල් රැසක් ද වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් විවෘතව පවතින ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්ත කළේ. 

ඉන්ධන සඳහා බ්‍රිතාන්‍යයේ පවතින ඉල්ලුම කොතෙක්ද යත්, ඉකුත් සිකුරාදා ලීටර් 8000 ක් පමණ අලෙවි වූ ඉන්ධන පිරවුම්හලකින් ඊයේ දිනයේදී පමණක් ඉන්ධන ලීටර් 24,000 ක් පමණ අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් පිරිපහදු මධ්‍යස්ථාන තුළ ඉන්ධන හිගයක් නොමැති බවත්, අනවශ්‍ය ලෙස බියට පත්වී ඉන්ධන මිලදී ගැනීම සිදු නොකරන ලෙසත් බ්‍රිතාන්‍යය රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.