Thursday, May 9, 2024

General line - 0115112241

දුම්රිය ස්ථානයක තේ විකුණූ කොලුවෙකු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම ගැන මෝදි රහසක් කියයි




දුම්රිය ස්ථානයක තේ විකුණු කොලුවෙකු හතරවන වතාවටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම පසුපස ඇති ශක්තිය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බව ඉන්දීය  අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

ගුජරාටයේ දුම්රිය ස්ථානයක  පියාගේ සහායකයෙකු ලෙස තේ වෙළෙදාමේ නිරත වූ  සිය අතීතය සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ  අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් භුමියක් ලෙස හදුන්වා දුන්නා.

විවිධ ජාති,ආගම්, භාෂා ආදියට ගරැ කරමින්  විවිධත්වයට ඉඩදීම ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

ඉන්දියාව මේ වනවිට කොරෝනා රෝගයට එරෙහිව පළමු ඩීඑන්ඒ තාක්ෂණය සහිත වැක්සීනය නිපදවා ඇති බව මෙහිදී  හෙළි කළ ඉන්දීය අගමැතිවරයා එය ලෝකයට අපනයනය කිරීමට සූදානම් බව ද කියා සිටියා.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ,සහ සුළුතර ප්‍රජාව දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඔවුන් ගලවා ගැනීම සදහා ලෝකයම මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඇෆ්ගනිස්තාන භුමිය ලෝකයේ ත්‍රස්තවාදී ක්‍රියා පෝෂණය කිරීම සදහා යොදා ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

ඇතැම් රටවල් අන්තවාදී ක්‍රියාකාරකම් හරහා ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ නිරතවන බවටද අගමැති මෝදි මෙහිදී චෝදනා කළා.

අන්තර්ජාතික විශ්ලේෂකයන් සදහන් කරන්නේ අගමැති මෝදි මෙම චෝදනාව නැගුවේ පකිස්තානය ඉලක්ක කරගෙන බවයි.