Thursday, May 2, 2024

General line - 0115112241

රටේ ක්‍රිකට් දියුණු වෙන්න LPL වලින් වුණු සේවය




මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරගාවලිවලට සහභාගිවීම සඳහා සාර්ථක වේදිකාවක් නිර්මාණය කරදීමට පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදීම හැකියාව ලැබුණු බව සඳහන් කර සිටින එහි තරගාවලි අධ්‍යක්ෂක,  ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, වර්තමාන කණ්ඩායම ලබා සිටින සීඝ්‍ර දියුණුවටද එය මහත් ලෙස උපකාරී වී තිබෙන බව සඳහන් කර සිටියි.

පළමු තරගාවලියට වඩා දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භ වන දෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහත් වෙහෙසක් දරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

“මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ක්‍රීඩා අමාත්‍යවරයාට සහ රජයට. මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා සෑම අවස්ථාවකම ඔවුන්ගේ උපරිම සහයෝගය සහ අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත  ලබා දුන්නා. අපි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේ දී ඉතාමත් සාර්ථක වුනා. ඔබ දැක්කොත් නවක ක්‍රීඩකයන් 12ක් වගේ ප්‍රමාණයකට විදෙස් ලීග් තරගාවලිවලට එක්වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අතර ඉන්න ගොඩක් ක්‍රීඩකයින් හඳුනා ගනු ලැබුවේ පළමු එල්.පී.එල්. තරගාවලියෙදි" යැයි සඳහන් කර සිටින ක්‍රිකට් උප සභාපතිවරයා, "ඒ ගැන  මම ආඩම්බරයෙන් කියනවා" යැයිද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අයි.පී.ජී. සමාගම සමඟ එක්ව සංවිධානය කරන ලද පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දේශීය ක්‍රිකට් තලයේ දක්ෂතා සහිත ක්‍රීඩකයින් ගණනාවක් හඳුනා ගැනීමට අවස්ථාව උදාවිය. ජාතික තලයේ පසුවන වනිඳු හසරංගටද ලොව පළමු මට්ටමේ ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවධානය යොමු වීමද ආරම්භ වූයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙන්නුම් කරන ලද දක්ෂතා හරහාය. වනිඳුට අමතරව මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග සහ අෂේන් බණ්ඩාර වැන්නන්ට සිය දක්ෂතා පෙන්වීමට එල්.පී.එල්. පළමුවැන්න සාර්ථක තෝ තැන්නක් බවට පත්විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය, කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ අබුඩාබි ටී10 තරගාවලිය ඉන් විශේෂිත තරගාවලි වේ.

දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලියේ නිල තේමා ගීතය එළිදැක්වීමේ උත්සවයට සහභාගිවෙමින් තරගාවලි අධ්‍යක්ෂක වික්‍රමරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේය. එම අවස්ථාවට වික්‍රමරත්න මහතාට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක IPG සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී අනිල් මොහාන් මහත්වරුන් ද එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වික්‍රමරත්න මහතා. "මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙස් විදෙස් හි ප්‍රබල ක්‍රීඩකයන් සමඟින් ක්‍රීඩා කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා විලාශයන් හඳුනා ගැනීමට අවස්ථාව හිමි වුණා. ඒ ඔස්සේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට ගොඩක් ක්‍රීඩකයින් අවස්ථාව උදා වුණා. කළින් කිව්වා වගේ අපිට පුළුවන් වුනා මේ තරගාවලිය හරහා අපේ ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ තරගාවලියකට සහභාගී වෙලා සාර්ථක වෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කරන්න" යි වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.

මෙවර තරගාවලිය පසුගිය වසරට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා අතර එයට නව පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ද ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. පසුගිය වසරේ පරිදිම මෙවර තරගාවලියේද කණ්ඩායම් 5ක් තරග වදින අතර තරගාවලිය සමස්ථ තරග 25කින් සමන්විත වේ.
"පසුගිය වසරේ දී අපි අවසන් පූර්ව තරග දෙකක් ක්‍රීඩා කළා. අපිට මේ වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් යෝජනාවක් ආවා තවත් තරගයක් ක්‍රීඩා කරමු කියලා. ඒකට ප්‍රධාන හේතුව වුනේ පසුගිය වසරේ තරගාවලියේ දී කොළඹ කණ්ඩායම තරග රැසක් ක්‍රීඩා කරලා අවසන් පූර්ව තරගය පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් වීම. මේ නිසා අපි තවත් තරගයක් එක් කළා. අපි දැක්කා මේ වසරේ දී විදෙස් ක්‍රීඩකයන් රැසක් තරගාවලියට එක්වෙන්න සූදානමින් හිටියා. මේ තරගාවලිය දවසින් දවස විශාල වෙනවා කියන එකට ඒක සාක්ෂි සපයනවා"යි වික්‍රමරත්න මහතා කියයි.

තරගාවලියේ සංවිධාන කටයුතු භාරව සිටින අයි.පී.ජී. සමූහයේ ප්‍රධානී අනිල් මොහාන් මහතාද අදහස් දක්වමින්, ආසියානු කළාපයේ මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය යථාර්ථයක් බවට පත් කළ බව සඳහන් කර සිටියේය. 

“ඇත්තෙන්ම මේක අමාරු කාලයක්. ඒත් අපිට හැමෝගෙන්ම සහයෝගය ලැබුණා. ඒ සහයෝගය එක්ක අපිට පුළුවන් වුනා මේ අමාරු අභියෝගය සාර්ථකව ඉස්සරහට අරන් යන්න. මේ තරගාවලිය සැලසුම් කරන ආකාරයට ම පවත්වන්න අපි අපේ උපරිම උත්සාහය ගන්නවා. විශේෂයෙන් අපිට සෞඛ්‍ය අමාත්‍යංශයේ, ක්‍රීඩා අමාත්‍යංශයේ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ මගේ කණ්ඩායම වෙන IPG කණ්ඩායමේ ලොකු සහයෝගයක් ලැබුණා" යැයිද ඒ මහතා සඳහන් කර සිටියේය.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ද අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අත්වැල් බැඳගෙන සිටින බවද සඳහන් කර සිටියේය. “ක්‍රීඩා අමාත්‍යංශය මේ සඳහා අවශ්‍ය වෙන අත්වැල මේ වෙද්දීත් සපයමින් ඉන්නේ. ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ ඉඳලා අමාත්‍යංශයේ සියලුම දෙපාර්තමේන්තුවලට ලොකු අවබෝධයක් තියනවා ක්‍රිකට් ආයතන එක්ක" යනුවෙන් ලේකම්වරයා අදහස් දක්වා සිටියේය.  

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භව 23 වැනිදා අවසන් වීමට නියමිත වේ. තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.