Tuesday, May 7, 2024

General line - 0115112241

පාකිස්ථානයට ප්‍රශ්න පමණක් ඉතිරි කළ චීන ව්‍යාපෘති




චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, පකිස්ථානයේ පමණක් නොව සමස්ත කලාපයේ ඉරණම වෙනස් කිරීමට අදහස් කරන චීන ආයෝජනවල නව යුගයක දොරටුව ලෙස ග්වාඩාර් වරාය (Gwadar) හඳුන්වනු ලැබුවා. පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ අරාබි මුහුදු සීමාවේ කුඩා වරාය නගරයක් වන ග්වාඩාර් එතැන් සිට මහත් අවධානයකට ලක් වුණා.

ග්වාඩාර්හි වරාය නගරය ඉදිකිරීම, මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරයක් සහ ඩොලර් මිලියන 230ක වියදමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඉදිකිරීම සඳහා චීනය ඩොලර් බිලියන ගණනක් වැය කර තිබෙනවා. චීනයට මෙන්ම පාකිස්තානයට ද  අවශ්‍ය වූයේ සංවර්ධන කටයුතු ඉක්මනින් අවසන් කිරීමටයි. නමුත් ඔවුන් භූමියේ නොසලකා හැරීමේ ප්‍රතිඵලය වූයේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියම මන්දගාමී වීමයි.

මෑතකාලීනව, ග්වාඩාර් සහ බලුකිස්ථානයේ වෙනත් CPEC ව්‍යාපෘති ද මන්දගාමී වී තිබෙනවා. බලධාරීන් ප්‍රදේශවාසීන්ගේ මූලික ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හැරීම ඊට හේතුවයි.

ඩොලර් බිලියන ගණනක චීන ආයෝජන ඔවුන්ගේ උපන් ගමට ගලා ආවත් ප්‍රදේශවාසීන්ට තවමත් ජලය, විදුලිය සහ අනෙකුත් මූලික පහසුකම් සඳහා ප්‍රවේශයක් ලැබී නැහැ. සංවර්ධන කටයුතු හේතුවෙන්, ප්‍රදේශවාසීන්ට ජීවනෝපාය මාර්ග ද අහිමි වීමට පටන් ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ධීවරයින් බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වී ඇතැයි සඳහන්. චීන ව්‍යාපෘති සහ කම්කරුවන් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ආරක්‍ෂා කිරීම සඳහා වරාය නගරයේ ආරක්‍ෂාව ඉහළ නැංවීමෙන් ප්‍රාදේශීය ආර්ථිකය මුලුමනින්ම වියවුල් සහගත වී තිබෙනවා.

මෙම තත්වයන් යටතේ, ග්වාඩාර් සංවර්ධනය ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නොවන බව අවබෝධ කරගත් ස්වදේශිකයන් තමන්ගේ  මූලික අවශ්‍යතා සපුරන ලෙස ඉල්ලා  බලධාරීන්ට එරෙහිව වීදී බැස්සා.

පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීම, මසුන් ඇල්ලීම සඳහා බාධාවකින් තොරව මුහුදු යෑමට අවස්ථාව ලබා දීම, ගැඹුරු මුහුදේ ට්‍රෝලිං තහනම් කිරීම වැනි ඉල්ලීම් මුල්කරගනිමන් ස්වදේශික බලුච් ප්‍රජාවන් වරාය නගරයේ සහ ග්වාඩාර් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල දැන් සති තුනකට වැඩි කාලයක් විරෝධතාවන්හි නිරතව සිටිනවා. මෙම විරෝධතා හේතුවෙන්, දශක ගණනාවක් පුරා පාකිස්තාන රජයට එරෙහිව නැගෙන බලුච් දුක්ගැනවිලි සමඟ මේ වනවිට චීන ව්‍යාපෘති පැටලී තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් ග්වාඩාර් නගරය කරච්චි වෙත සම්බන්ධ කරන ප්‍රධාන මහාමාර්ග වසා දමා තිබෙනවා. දැනට ක්‍රියාත්මක විරෝධතා  ග්වාඩාර් හි සියල්ල යහපත් නොවන බවට පැහැදිලි සලකුණක්. බලධාරීන්ගේ උඩඟු ක‍්‍රියාකලාපයට එරෙහිව තම කෝපය ප්‍රකාශ කිරීම සඳහා  ජනතාව  වීදි බැස තිබෙනවා.

2015 දී CPEC දියත් කිරීමේ දී පකිස්තාන සහ චීන බලධාරීන් ඔවුන්ට පොරොන්දු වී ඇත්තේ උපායමාර්ගිකව පිහිටා ඇති ධීවර වරාය කේන්ද්‍ර කරගත් කුඩා නගරයක් වන ග්වාඩාර් - ඩුබායි වැනි නවීන නගරයක් බවට ඉක්මනින් පරිවර්තනය කරන බවයි. එහෙත් වසර හයක් ගෙවී ගියද යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. 

විරෝධතාකරුවන්ගේ එක් ඉල්ලීමක් වන නීති විරෝධී චීන ටෝලර් යාත්‍රා සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. නමුත් උද්ඝෝෂකයින් සැලකිලිමත් වන එකම ප්‍රශ්නය ධීවර කර්මාන්තය පමණක් නොවෙයි.
බලුච් බෙදුම්වාදීන් පළමු දිනයේ සිටම CPEC ව්‍යාපෘතියට විරෝධය පළ කළේ එය බලුච් ස්වදේශික අනන්‍යතාවට තර්ජනයක් වන බව පවසමින්. විශේෂයෙන්ම පන්ජාබ් පළාතෙන් සහ පාකිස්ථානයේ වෙනත් ප්‍රදේශවල ජනතාව එහි පැමිණීමෙන් ස්වදේශික බලුච් ප්‍රජාව සිය භූමියේම සුළුතරය බවට පත්වනු ඇති බවට ඔවුන් සැක පල කරනවා.

ඒ අනුව බලුච් බෙදුම්වාදීන් විසින් CPEC ව්‍යාපෘති ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කරනු ලැබුවා.  2019 මැයි මාසයේදී, බලුච් බෙදුම්වාදීන් ග්වාඩාර් හි එකම සුඛෝපභෝගී හෝටලයට පහර දුන්නා. පකිස්ථානයේ සහ චීනයේ ප්‍රභූන් මෙම හෝටලයේ නවාතැන් ගැනීමට පුරුදුව සිටි අතර, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ චීන තානාපතිවරයා එහි නොසිටියත් නගරයේ සිට ඇති බව වාර්තා වුණා. . ඉන් අනතුරුවත්  බලුකිස්තානයේ සහ රටේ වෙනත් තැන්වල චීන කම්කරුවන් ඉලක්ක කරගනිමින් බලුච් බෙදුම්වාදීන් ප්‍රහාර මාලාවක් දියත් කළා. මේ හේතුවෙන් බලුකිස්තානයේ ව්‍යාපෘතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට චීන බලධාරීන්ට සිදුව තිබෙනවා.

ග්වාඩාර් වරාය නගර ව්‍යාපෘතියට අමතරව  එක්  තීරයක් - එක් මාවතක් (BRI) වැඩපිළිවෙල යටතේ චීන ව්‍යාපෘති බොහෝමයක් පාකිස්තානය තුල ක්‍රියාත්මක වනවා. 

පෙනෙන ආකාරයට, BRI යනු ඓතිහාසික සේද මාවත ඔස්සේ සිදූවූ ආර්ථික සංවර්ධනය වර්තමානයට ගැලපෙන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා චීනය විසින් ආරම්භ කරන ලද ගෝලීය සංවර්ධන උපායමාර්ගයක්. කෙසේ වෙතත් මෙය ආරම්භ කිරීමට පාදක වී ඇති සැබෑම හේතුව වන්නේ ගෝලීය මට්ටමින් චීන ආධිපත්‍යය වර්ධනය කිරීමයි. ආසියාව, අප්‍රිකාව සහ යුරෝපයේ රටවල් 68 ක් පුරා පැතිරී ඇති යටිතල පහසුකම්, මූල්‍යකරණ සංවර්ධන වැඩසටහන චීන රජයේ ප්‍රධාන ආර්ථික, විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂක අරමුණු සඳහා යොදා ගැනෙනු ඇති.

මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ චීන සංවර්ධන බැංකුව, චීනයේ අපනයන-ආනයන බැංකුව සහ චීනයේ කෘෂිකාර්මික සංවර්ධන බැංකුව වැනි රජයේ පාලනය යටතේ පවතින සංවර්ධන හා වාණිජ බැංකු මඟින්. කෙසේ වෙතත්, මේ හරහා රටවල් අල්ලා ගැනීම සදහා ඔවුන් භාවිතා කරන උපක්‍රමය නම් මෙම අරමුදල් ප්‍රදානයක් ලෙස ලබානොදී ණය ලෙස ලබාදීමයි.

BRI ව්‍යාපෘති සඳහා සහභාගී වන රටවල් මුහුණ දිය හැකි ණය අවදානම්, සංවර්ධනය අඩාල වූ යටිතල පහසුකම්, වැනි ගැටලු පිළිබඳ ලෝක බැංකුව 2018 දී අනතුරු ඇඟවූවා.  CPEC ව්‍යාපෘතිය දියත් කිරීම තුලද ලෝක බැංකුව අපේක්ෂා කරන ලද මෙම ගැටලු පැන නැගී ඇති බව දක්නට ලැබෙනවා.  සමාන්‍යයෙන් ණය සේවා ලබා දියත් කරන ලද ව්‍යාපෘති ප්‍රතිලාභ ලබා දිය යුතු අතර මෙහිදී එය බොහෝ අවස්ථාවන්හිදී සිදු වන්නේ නැහැ. ඒ අනුව උද්ගත වන ණය සේවා පිළිබඳ ගැටලු ණයගැතියාගේ රට සහ චීනය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයට බලපෑම් එල්ල කරනවා. මෙය පාකිස්තානය වැනි සාම්ප්‍රදායික මිත්‍ර රටකට පවා මුහුණ දීමට සිදුව ඇති ගැටලුවක්.

CPEC ව්‍යාපෘතිය යටතේ ඇති ව්‍යාපෘතිවල මුළු වටිනාකම ඩොලර් බිලියන 62 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒ හේතුවෙන් පාකිස්තානය ද ණය අර්බුදයකට මුහුණ දීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටිනවා. මේ වනවිට පකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ණය අනුපාතය සියයට 70 ද ඉක්මවා තිබෙනවා. CPEC මගින් ආර්ථික ස්ථායිතාව ඉහළ නැංවීමට සහ පාකිස්තානයට වෙනත් ප්‍රතිලාභ ලබා දීමට අදහස් කළද මෙම ව්‍යාපෘති සියල්ල සෑම විටම චීනයට වාසිදායක ලෙස පමණක් ක්‍රියාත්මක කරනු ලබනවා. 

හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟ ශ්‍රී ලංකාවද මෙම ණය උගුලට හසුවුණා. නැව් නැති වරායක් ලෙස ප්‍රචලිත වූ හම්බන්තොට ආර්ථික ප්‍රතිලාභ නොලැබුණු වරායක් බවට පත් වීමත් සමඟ චීනයෙන් ලබාගත් ඩොලර් බිලියන 1.1 ක ණය මුදල ආපසු ගෙවීමේ බරපතල අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවට සිදු වූයේ වසර 99ක කල්බදු ක්‍රමයක් යටතේ වරායේ සියයට 85ක කොටස් අයිතිය චීනයට පැවරීමටයි. ශ්‍රී ලංකාවට ස්වෛරීත්වය පවා අහිමි වී ඇති මෙම ගනුදෙනුව කලාපයට තර්ජනයක් වී ඇත්තේ චීනයට ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ බලය තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබීම හේතුවෙන්. එය ඉන්දියාවට ද ප්‍රබල හිසරදයක් වී ඇති අතර ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවලට ද අහිතකර බලපෑම් එල්ල කර තිබෙනවා.

CPEC ආර්ථික ව්‍යාපාරයක් හැදින්වුවද එය ආර්ථික ව්‍යාපාරයක් ලෙස මුල සිටම දුර්වල වුණා. එය ආර්ථිකය එක් කොරිඩෝවක් හා කේන්ද්‍ර කොට සම්බන්ධ කිරීමක් නොව, අරාබි මුහුද වෙත චීනයට පහසුවෙන් ප්‍රවේශ වීම සදහා පාකිස්තානය යොදා ගනිමින් සරලවම සිදු කරන ලද ව්‍යාපෘති මාලාවක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු වනවා. 

CPEC නිසා පාකිස්තානය ණය උගුලකට හසු වීම හැරුණු විට, ඉඩම් අත්පත් කර ගත් විට ඒ සදහා ප්‍රමාණවත් අන්දමින් වන්දි නොගෙවීමේ අමතර ගැටළුවක්ද ඇති අතර, මේ හේතුවෙන් තම ආර්ථික තත්වයන් පිරිහී ඇති හෙයින් පාකිස්තානයේ ජනතාව මෙම ආර්ථික කොරිඩෝව තුළ ජීවත්වීම පිලිබඳව අතිශයින් අසතුටට පත්ව සිටිනවා. මෙය ගැටුමක් දක්වා වර්ධන වීමේ ප්‍රවණතාවද කිසිසේත් බැහැර කළ නොහැකි සත්‍යයක්.