Thursday, May 9, 2024

General line - 0115112241

සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ ආශිර්වාද පූජාව ජනපති ප්‍රධානත්වයෙන්




ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ ආශිර්වාද පූජාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා. එම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් පසු විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවරීමේ සන්නස්පත්‍රය බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. 

සිතුල්පව්ව රාජමහා විහාරය අවට විහාරස්ථාන 04 ක් පූජා භූමි බවට පත් කළ බවට දැනුම්දෙන නිදහස් දීමනා පත්‍ර ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු එම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මෙහිදී අදහස් දක්වමින් සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ විහරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් සඳහන් කළේ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ නිවැරදි බවයි. එය සාර්ථක කර ගැනීමට හැකිවුවහොත් ඉදිරි පරපුරේ අනාගතය සුබ වනු ඇති බව උන්වහන්සේ සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.