Thursday, May 9, 2024

General line - 0115112241

අමතක නොවන සිදුවීම් දෙකක් ජනපති හෙළිකරයි




හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

යම් කෙනෙක් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරනවිට, ඔවුන් ද ඔවුන්ට හැකි සෑමදෙයක්ම එම පුද්ගලයා වෙනුවෙන් ඉටුකරන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී ජනාධිපතිතුමා විසින් සිය ජීවිතයේදී අත්විදි සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් මෙසේ කරුණු ගෙනහැර දක්වනු ලැබුවා.

" තමන් නායකත්වය දෙන අය කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල නිසා කෙතරම් ප්‍රභල බලපෑමක් ඇති කළ හැකිදැයි යන්න හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මම හොඳාකාරව දනිමි.1980 දශකයේ අගභාගයේදී මම ජෙනරාල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුතුව ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පලාලි හි ස්ථානගතව සිටියෙමි.”

“මේ කාලය තුළ යාපනයේ සිටි අපට සෑම මසකම දින පහක් පමණ ගුවන් මගින් කොළඹට පැමිණීමට නිවාඩු ලබා දෙන ලදී.”

“එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා.”

“ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා.”

“ඔහු ප්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි.”

“ඒ තරමටම ඔහු තම කනිෂ්ඨ නිලධාරීන් ගැන දැනුවත්ව සිටි අතර ඔහු අපව හොඳින් බලාගනු ලැබුවා.”

“මෙය සිදුවී වසර 40කට ආසන්න කාලයකට පසු අද පවා ජෙනරාල් විමලරත්නගේ මෙම කාරුණික ක්‍රියාව මම මහත් ආදරයෙන් සිහිපත් කරමි.”

“මට කවදාවත් අමතක නොවුණු තවත් සිදුවීමක් තිබේ. ඒ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සම්බන්ධව.”

“1991 දී අලිමංකඩ හමුදා කඳවුර මුදාගැනීමේ ‘බලවේගය’ මෙහෙයුම අතරතුර එක් තරුණ මේජර්වරයෙක් ජෙනරාල් කොබ්බෑකඩුව වෙත පැමිණියා.”

“තම පුතා රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමේ සම්මුඛ පරීක්ෂණයකට යන බව පවසමින් ඒ සඳහා සහාය ලිපියක් ඉල්ලා සිටියා.”

“ජෙනරාල් කොබ්බෑකඩුව වහාම පෑනක් කඩදාසියක් ගෙන්වා ගත්තා.”

“ඉන්පසුව ඔහු රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට වෙත ලිපියක් ලියමින් සඳහන් කලේ මෙම තරුණ නිලධාරියා යුධ පිටියේ සිටින බවත්, තම රට වෙනුවෙන් සටන් කරන බවත්, ඔහුගේ පුතා පාසලට ඇතුළත් කිරීමේදී දක්වන සැලකිල්ල අගය කරන බවත්ය.”

“එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් මේ තරුණයා අද ඉතා සාර්ථක ඉංජිනේරුවෙකු බවත්, ජෙනරාල් කොබ්බෑකඩුව මහතා ඔවුන්ට ලබා දුන් සහයෝගයට ඔහු මෙන්ම ඔහුගේ පියාද සදා කෘතඥ වන බවත් මම පෞද්ගලිකව දනිමි.”

“මෙම සිදුවීම් දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයින්ට ඔබ කොතරම් සැලකිල්ලක් දැක්විය යුතුද සහ සහාය විය යුතුද යන්නයි.”