Thursday, May 9, 2024

General line - 0115112241

නොරොච්චෝලේ බිද වැටුණු ජනන යන්ත්‍රය යළි පනගන්වයි




අක්‍රීයව පැවති නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි සක්‍රීය කර මෙගාවොට් 160ක් යළිත් ජාතික විදුලි පද්ධතියට එක් කළ ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

ඉතිරි මොගාවොට් 110 අද දිනයේ පද්ධතියට එක් කිරීමට හැකිවෙතැයි එම මණ්ඩලය විශ්වාසය පළ කරනවා. එම බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය හදිසියේ බිඳ වැටුනේ ඉකුත් දෙසැම්බර් 03වනදායි. මේ හේතුවෙන්  ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක හිගයක් පැවතියා. අහිමි වූ එම මොගාවොට් ප්‍රමාණය සපුරා ගැණුනේ කැළණි තිස්ස ඩීසල් බලාගාරයෙන්. 

කෙසේවෙතත් ඉන්ධන නොමැතිවීමෙන් සපුගස්කන්ද බලාගාරයේ බී කොටසේ ජනන යන්ත්‍රය අද පස්වරුවේ අක්‍රීය වනු ඇති බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. ඒ සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට මෙතෙක් ඛනිජ තෙල් සංස්ථාව මෙතෙක් එකඟතාව පළ කර නැහැ. 

මේ අතර හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දෙනවාද, නැද්ද යන්න අද පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා. එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ සිය සාමාජිකයින් රැස්වී දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය කරන බවයි.  

කෙසේවෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මාධ්‍ය හමුවේ පැවසුවේ විදුලිය අඛණ්ඩව ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවයි.

මේ අතර ඉල්ලුම සහ සැපයුම අතර පවතින මෙගාවොට් 300 ක පරතරය පියවා ගැනීමට විදුලි බල මණ්ඩලය නිසි සැලැස්මක් ඉදිරිපත් කර නොතිබූ බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.