Sunday, May 5, 2024

General line - 0115112241

පකිස්තානයේ කාශ්මීර දිනය වැඩකට සැමරුමක් ද?




කාශ්මීර ජනතාව සමඟ සහයෝගීතාවය නිරූපණය කිරීම සඳහා පකිස්ථානය විසින් "කාශ්මීර සහයෝගිතා දිනය" සෑම වසරකම පෙබරවාරි මස 05වැනිදා සමරනු ලබනවා 

ලෝක සිතියමේ වෙනම අනන්‍යතාවයක් සඳහා වන අරගල වලදී බොහෝ නිදහස් සටන්කාමීන්ට තම ආදරණීයයන් අහිමි වී ඇති අතර පකිස්තානය, කාශ්මීරයට එහි ස්වයං නිර්ණ අයිතිය සඳහා සහාය දක්වන බව කියමින් මෙම දිනය සැමරනු ලබනවා. 

කෙසේ වෙතත් සැබෑ ලෙසම පාකිස්තානය මෙම දිනය සමරන්නේ එම අරමුණ සදහාද යන්න බරපතළ ගැටළුවක්. 

පාකිස්ථානය කාශ්මීර දිනය සැමරීමේ ආරම්භය 1990 දශකය තරම් ඈත අතීතයට දිව යනවා. 

ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර කොටසේ වැසියන්ට සිය සහයෝගය සහ එකමුතුකම පෙන්වීම සහයෝගීතා දිනය සමරන පාකිස්ථානයේ ප්‍රධාන අරමුණයි. 

ඊට අමතරව ඉන්දියාවෙන් වෙන්වීමට කාශ්මීර බෙදුම්වාදීන් දරණ ප්‍රයත්නයට සහය පළ කිරීම සහ ගැටුම්වලින් මියගිය කාශ්මීර වැසියන්ට බුහුමන් පුදකිරීමද කාශ්මීර සහයෝගීතා දිනයේ අරමුණු අතර වනවා. 

තහනම් සංවිධානයක් වන ජමාතේ ඊ ඉස්ලාමි පාකිස්ථාන් සංවිධානයේ නායක ක්වාසි හුසෙයින් අහමඩ් විසින් 1990දී කාශ්මීර සහයෝගීතා දිනය පිළිබඳ යෝජනාව පළමුවරට ඉදිරිපත් කළා. 

ඒ අනුව 1991 සිට මෙම දිනය සැමරීම ආරම්භ වුණා. 

කෙසේ වෙතත් ඉන් වසර 30ක් ගතවුණු මේ සමයේත් තතුදත් බොහෝ කළාපීය දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස නම් ඉන්දියාවට එදිරිවාදීකමක් කිරීමට ඇති අවස්ථා පාකිස්තානය කිසි විටෙකත් අත් නොහරින අතර ඊට වස්තු විශයක් සොයාගත නොහැකි නම් එවැන්නක් නිර්මාණය කර හෝ ඒ සදහා පදනම සකසා ගැනීම පාකිස්තානයේ   උත්සාහය බවයි. 

ඒ අනුව ඔවුන් මෙම දිනය ඉන්දියාව සමග සිය පසමිතුරු බව වර්ධනය කිරීම සදහා සිය ජනතාව පොළබවන දිනයක් බවට මෙය පත් කරගෙන තිබෙනවා. 

කාශ්මීර දිනය , කාශ්මීර වැසියන් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා වන දිනයක් වන නමුත් ආක්‍රමණශීලී කතා, ඇමතිවරුන්ගේ වාචාල ප්‍රකාශ, සමහර නව ගීත සහ තර්ජනාත්මක ට්වීට් පණිවිඩ , පාකිස්තාන දේශපාලන  බල අධිකාරිය විසින් හසුරුවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. 

1949 ජනවාරි 5 වැනිදා ඉන්දියාව සහ පාකිස්තානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසම යෝජනාවක් සම්මත කළා. 

එහි පළමු වගන්තියේ, "ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය ඉන්දියාවට හෝ පකිස්ථානයට ඇතුල් වීම පිළිබඳ ප්‍රශ්නය නිදහස් හා අපක්ෂපාතී ජනමත විචාරණයක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හරහා සිදුකළ යුතු බවට තීරණය වුණා. 

එම ජනමත විචාරණය පැවැත්වීමට පූර්ව කොන්දේසියක් වුණේ ,පකිස්තානය මුලින්ම සිය හමුදා භටයන් සහ ගෝත්‍රික ආක්‍රමණිකයන් ඉවත් කර ගත යුතු බවයි. 

පාකිස්තානය ඊට අවනත නොවූ අතර කාශ්මීර ගැටුම ඉන්දියාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික ගැටලුවක් බවට පත් වීමට පාකිස්තානයේ මෙම උද්දච්ච තීරණය හේතු වුණා. 

එකල ඉන්දියාව ජනමත විචාරණයක් පැවැත්වීමට කැමැත්තෙන් සිටියා. 

කාශ්මීරයේ පදිංචිකරුවන්ගෙන් බහුතරය තමන්ට සලකන ඉන්දියාවට ඡන්දය දෙනු ඇතැයි පාකිස්තානය බිය වීම මෙම ජනමත විචාරණය නොපැවැත් වීමට හේතු වුනා. 

එබැවින්, පකිස්ථානය සියලු ආකාරයේ ප්‍රමාද උපක්‍රම භාවිතා කළ අතර අවසානයේ 1972 ජූලි 2 වන දින හිමාචල් ප්‍රදේශ්හි දී පකිස්ථාන රාජ්‍ය නායක සුල්ෆිකාර් අලි භූතෝ සහ ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කරන ලද ෂිම්ලා ගිවිසුම අතරතුර ජනමත විචාරණ විකල්පය අතහැර දැමුණේ පාකිස්තානයේ උඩගු ක්‍රියා පිළිවෙත හමුවේයි. 

1971 දෙසැම්බරයේදී ඉන්දීය හමුදාව විසින් අල්ලා ගනු ලැබූ සිය යුද සිරකරුවන් අනූතුන් දහසක් නිදහස් කර ආරක්ෂිතව ආපසු පැමිණීම සඳහා කාශ්මීර හුවමාරු කර ගැනීමට ෂිම්ලා අවස්ථාව යොදා ගත්තේ පකිස්තානය මිස ඉන්දියාව නොවේ. 

මීට අමතරව කාශ්මීරයේ සටන් විරාම රේඛාව, පාලන රේඛාව (LoC) ලෙස නම් කර ජාත්‍යන්තර දේශසීමාවක් බවට පත් කරන ලෙස පාකිස්තානය ඉල්ලා සිටීම  ඇතැමුන් සලකන්නේ නිර්ලජ්ජිත ක්‍රියාවක් ලෙසයි. 

එහෙත්, පාකිස්තානය විසින් අත්පත් කරගෙන සිටින ජම්මු කාශ්මීරය (PoJK), ගිල්ගිට්-බල්ටිස්තාන් (PoGB) සහ ලඩාක් යූනියන් ප්‍රාන්තය ඇතුළු සෙසු ප්‍රාන්තවලට සාපේක්ෂව කිලෝමීටර් 135ක් දිග සහ කිලෝමීටර් 32ක් පළල කාශ්මීර නිම්නයේ ප්‍රචණ්ඩත්වය දිගටම අවුලුවාලීමට පාකිස්තානය ලැජ්ජා සහගත ලෙස කටයුතු කරමින් සිටිනවා. 

පකිස්තානය මෑතක සිට කාශ්මීර නිම්නයේ ව්‍යාජ නොසන්සුන්තාවක් ඇවිලවීමට උත්සාහයන් කිහිපයක්ම ගෙන ඇති අතර සීමාව හරහා ත්‍රස්තවාදීන්ට ඔබ මොබ සැරිසැරීමටද අවස්ථාව උදාකර ඇති බව ඇතැම් වාර්තා වල සදහන්. 

එවැනි සෑම අවස්ථාවකම එය ඉන්දීය දේශසීමා ආරක්ෂක හමුදා විසින් එය වළක්වා තිබෙනවා. 

මේ අතර ඉම්රාන් ඛාන් රජය එරට තුල  ඉහළ යමින් පවතින ආර්ථික අර්බුද තාවකාලිකව සමනය කර ගැනීම සදහා ‘කාශ්මීර ප්‍රශ්නය’ යළි කරලියට ගෙන ඒම සදහා ආගමික අන්තවාදය උපයෝගී කර ගැනීමට විවිධ ක්‍රම සොයමින් සිටින බව විශ්ලේෂකයන්ගේ මතයයි. 

සත්‍ය  වශයෙන්ම,  පකිස්ථාන හමුදාවේ සහ එහි ප්‍රාදේශීය ආරක්ෂකයින්ගේ කුරිරු බලපෑම් යටතේ ජීවත් වන පාකිස්තාන පාලිත ප්‍රදේශවල ජනතාවට  ලෝකය සමග සහයෝගීතා දිනයක් සැමරීමට පැහැදිලිවම අවශ්‍ය වී ඇති කරුණක්. 

විදුලිය, ජලය, ආහාර, විශ‍්‍රාම වැටුප්, සහ මේ සියල්ලටම වඩා ප‍්‍රකාශනයේ නිදහස වැනි මූලික මානව හිමිකම් හිඟකමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. 

පාකිස්තාන පාලිත කශ්මීර ප්‍රදේශවල විශ්‍රාමික හමුදා සාමාජිකයින් පසුගිය මාස අටක කාලය තුළ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් බලාපොරොත්තුවෙන් සිටින අතර රජයේ දෙපාර්තමේන්තු දුසිම් භාගයකට අධික සේවකයෝද මේ හේතුවෙන් දැඩි පීඩනයකට පත්ව තිබෙනවා. 

එසේම,පාකිස්තානයේ පාලිත එම ප්‍රදෙශවල හි ජල පෙරහන ක්‍රියාකරුවන්ට පසුගිය මාස 6 තුළ වැටුප් නොගෙවා ඇති  අතර විශ්‍රාමිකයින් සහ රජයේ සේවකයින් සාගින්නෙන් පෙළීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා වල සදහන්. 

දුප්පත්කම නිසා තම දරුවන් පාසල් යැවීම නතර කිරීමට මව් පියන්ට සිදු වී තිබෙනවා. 

පසුගිය සතියේ පාකිස්තාන පාලිත කාශ්මීර ප්‍රදේශයක භූමිකම්පාවකින් නිවාස 450ක් කඩා වැටී ඇති බවත්, ගොඩනැගිලි 2500ක් බරපතළ ව්‍යුහාත්මක හානි හා ජල යෝජනා ක්‍රම 11ක් බිඳ වැටී ඇති බවත්, බලාගාර 3ක් ක්‍රියාත්මක නොවන බවත්, වාර්තා වූ අතර ඒ සදහා මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ. 

ජනතාව සහන අපේක්ෂාවෙන් අධික සීතලේ එළිමහනේ රාත්‍රියෙන් රාත්‍රිය ගත කලත් අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට මෙම ගැටළු නොපෙනීම එම ප්‍රදේශවල ජනතාව කබලෙන් ලිපට වැටීමට හේතු වී තිබෙනවා. 

ඇතැම් ජනතාව ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රශ්ණ කරන්නේ ඔබ පාකිස්තාන පාලිත කශ්මීරයේ ගිල්ගිට්-බල්ටිස්තානයේ ජනතාව වෙනුවෙන් රටපුරා සහයෝගීතා දිනයක් නොපවත්වන්නේ ඇයි?  

අපි එදිනෙදා විඳින දුක් ගැහැට  රූපවාහිනියෙන් ප්‍රචාරය කරන්න ඔබ ඉඩ නොදෙන්නේ ඇයි?  

මගේ ජනතාව බලන්න ෆෙඩරල් ඇමති කෙනෙක් එන්නේ නැත්තේ ඇයි? යනුවෙන්. 

කාරණය නම්, පකිස්තාන රාජ්‍යයේ පැවැත්ම රඳාපවතින්නේ  මනඃකල්පිත ඉන්දියානු ප්‍රහාරයක් ගැන ජනතාව  බියෙන් තබා ගැනීමෙන්  සහ සතුටින් ජීවත් වන කාශ්මීර වැසියන් "ස්ත්‍රී දූෂණය සහ සමූලඝාතනය" පිළිබඳ නින්දට පෙර බිහිසුණු කතාවන් මගින් බියගැන්වීමෙන් බව  විචාරක මතයයි. 

පෙබරවාරි  5 වැනිදා ‘කාශ්මීර දිනය’ යනු පාකිස්තානය විසින් රචනා කරන ලද කාශ්මීරය පිළිබඳ ත්‍රාසජනක පොතේ තවත් එක් පරිච්ඡේදයක් පමණක් වනවා. 

බැලූ බැල්මටම එය හුදෙක්ම පීඩාවට පත්ව සිටින පාකිස්තාන පාලිත කාශ්මීර ප්‍රදේශවල වැසියන්ට හා ලෝක වාසීන්ට කරන වංචාවක් නොවන බව කිව හැකිද?