Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියානු අභිමානය දෙවුර මත දරා බීජිං නුවරට ගිය කාශ්මීර යෞවනයා




අරිෆ් ඛාන්, ඉන්දියානුවෙක්.... කාශ්මීරය නිජබිම කරගත්, මිනිසුන් පුදුමයට පත්කිරීම විනෝදාංශය කරගත්තෙක්.

පසුගිය වසරේ ඉතාලියේ පැවති ලෝක ඇල්පයින් ස්කී ශූරතාවලිය, ඔස්ට්‍රියා, ප්‍රංශ, ඉතාලි, ජර්මානු තරගකරුවන් අතර සිටි ඉන්දියානුවා දැක විමතියට පත් වූ මානව මුහුණු ඔහු සිහිපත් කරනවා.  

ලෝක ශූරතා හතරකට සහභාගී වූ ඔහුට සෑම විටකම ස්කී ක්‍රීඩාව (හිම මත ලිස්සා යෑම) ඉන්දියාවේ තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට සිදුවුණා.

"මිත්‍රවරුනි, අපි ඉන්නේ හිමාලයේ. ලෝකයේ උසම කඳුවැටිය, දවස් 365ම පැය විසි හතර පුරාම හිමෙන් වැසුණු අපෙන් ඔබ අන් දෙයක් බලාපොරොත්තු වෙනවද?" ආරිෆ් ඛාන්ගේ සුපුරුදු පිළිතුරයි.        

කාශ්මීරයේ ඉන්දියානු පරිපාලන කලාපයේ ගුල්මාගර් හි උපන් ඛාන් හිම මත ලිස්සා යෑම ඉගෙන ගන්නේ සිව්හැවිරිදි වියේදීයි. සිය පිය පවත්වාගෙන ගිය ස්කී උපකරණ අළෙවිසැළ ඒ සඳහා ඔහුට මනා පිටිවහලක් වුණා.

"අපි කුඩා කාලයේ පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා කළා, නමුත් අප අවට ක්‍රීඩා පිටියක් තිබුණේ නැහැ අපට පහසුම ක්‍රීඩාව වුණේ හිම මත ලිස්සා යාමයි. අපි උදේට හිම මත ලිස්සා යෑම ආරම්භ කරලා හවස් වන තුරු  පැය ගණනක් එහිම කාලය ගත කළා " ආරිෆ් වරක් "ද හින්දු" වෙබ් අඩවිය සමග පවසා තිබුණා.

සිය දක්ෂතාව බාල අවදියේ සිටම විදහා පෑ අරිෆ්, වයස අවුරුදු 12 දී ඔහුගේ පළමු ජාතික ස්ලැලොම් ශූරතාව දිනා ගනිමින් හිම මත ලිස්සා යෑමේ ඉන්දීය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලිවීම ආරම්භ කළා. 

අරිෆ් ඉන්දියාව වෙනුවෙන් සිය මංගල  ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේ  ඔහුට වයස අවුරුදු 16 දී, ජපානයේ යොමාසේ හි පැවති කනිෂ්ඨ ජාත්‍යන්තර ස්කී සම්මේලනයේ (FIS) ඉසව්වකදීයි.

එම තරගාවලියේ Giant Slalom ඉසව්ව නියෝජනය කළ ඔහු 23 වැනි ස්ථානයට පත්වුණා.

කිසි ලෙසකින් සිය අධිෂ්ඨානය අත් නොහැරි මේ කාශ්මීර යෞවනයා  2011 වසරේ දකුණු ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ Slalom සහ Giant Slalom ඉසව් ද්විත්වයේම රන් පදක්කම් තමන්ගේ නමට ලියා ගන්නට සමත් වුණා.

තෙවරක් ලෝක ශූරතා තරගාවලි හිදී භාරත් මාතාව නියෝජනය කරන්නට වරම් ලැබ ගත් ආරිෆ් ඛාන් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 45 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ ඉන්දීය ක්‍රීඩකයෙක් එම ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම ස්ථානයයි.  

"මම වසර කිහිපයක් පුරාවට දැඩි කැපවීමකින් හා අධිෂ්ඨානයකින් පුහුණුවීම්වල නිරත වුණා. මගේ අපේක්ෂාව ලෝකයේ හොඳම 30 දෙනා අතරට පැමිණීමයි. හොඳම 30 දෙනා අතරට පැමිණීම ලෝකයේ පදක්කම්ලාභීන් හා සමානයි," ඔහු බීජිං බලා පිටත්ව යාමට පෙර සඳහන් කළා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විවාහ වීමට සැලසුම් කරමින් සිටි ඔහු 2022 ශීත ඍතු ඔලිම්පික් සුදුසුකම් කෙරෙහි අවධානය යොමු කිරීමට එය කල් දැමීමටද තීරණය කළේ රට නියෝජනය කරමින් ඔලිම්පික් යෑම ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයක් වන නිසාවෙනි. 

ආරිෆ් සම්බන්ධයෙන් එය සුවිශේෂී වන්නේ ඉන්දියාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා වන නිසාම නොවේ. ඔහු දේශීයව ඉන්දීයාවේ මෙන්ම ජාත්‍යන්තරයේද පුළුල් අවධානයට ලක් වූ ජම්මු කාශ්මීරයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූවෙක් වන නිසායි. 

කාශ්මීරයේ ඉපිදි එහිම හැදී වැඩුණු 31 හැවිරිදි වියේ පසුවන ආරිෆ් ඛාන් බීජිං චිර ප්‍රසිද්ධ කුරුළු කැදැල්ලෙහි ඉන්දීය ධජය අතදරා අද ඇවිද යන්නේ බිලියන 1.4කගේ සිහිනය දෙවුර මත රඳවාගෙනයි. 

මේ ආරිෆ්ගේ පළමු ඔලිම්පික් ගමනයි. එමෙන්ම මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එකම ඉන්දීය මළල  ක්‍රීඩාකයා ලෙසද ඔහු ඉතිහාසයට එක්වනවා.  
එමෙන්ම Slalom සහ Giant Slalom යන ඉසව් දෙකටම සුදුසුකම් ලැබූ ඛාන් ශීත සෘතු ඔලිම්පික් උළෙලක ඉසව් දෙකක් නියෝජනය කරන පළමු ඉන්දියානුවයි.

සමස්ත ඉන්දියානුවන්ගේම ආදරය හා ආශිර්වාදය සමග ආදරවන්තයන්ගේ දිනයට පෙර දින මෙවර ඔලිම්පික් උළෙලේ පළමු තරගයට ආරිෆ් ඉදිරිපත් වනවා. ඔහු සහභාගී වන අනෙක් තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 16 වැනිදායි.

ඛාන්ගේ නිජබිම වන කාශ්මීරය ගැටුම්වලින් පිරි කලාපයක්. ඔහු සිය ජීවිත කාලයම ගත කළේ ගැටුම්වලට මැදිවයි. නමුත් කාශ්මීරය තවදුරටත් වෙනම ඒකකයක් නොව ඉන්දියාවේම කොටසක් බව ආරිෆ් යළි යළිත් පසත් කර තිබෙනවා. අද සමස්ත භාරතයම ප්‍රාර්ථනා කරන්නේ කාශ්මිර තරුණයෙකුගේ ජයග්‍රහණයයි.

මීට පෙර, ඉන්දියාව නියෝජනය කිරමින් ශීත ඍතු ඔලිම්පික් තරඟාවලියක් සදහා සහභාගී වී ඇත්තේ එක් අයෙකු පමණයි.

ඒ ,ප්‍රවීණ (LUGE) ලුජ් ක්‍රීඩක ශිව කේෂවන්, වන අතර ඔහු මෙගා-ඉසව්වේ අවස්ථා 06 කදී ,ඉන්දියාව නියෝජනය කළා.

හිමාචල් ප්‍රදේශ් හි මනාලි නගරයේ ජීවත් වන 40 හැවිරිදි ඔහු දැන් ඉන්දියාවේ හිම ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ නිරතව සිටිනවා.

මේ අතර රටවල් 84ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ශීත සෘතු ඔලිම්පික් උළෙල බීජිංහි ලෝක ප්‍රසිද්ධ කුරුළු කැදැල්ලේදී පසුගිය 4 වැනිදා ආරම්භ වුණේ විචිත්‍රවත් සමාරම්භක උළෙලකින්. 

චීනයේ Xinjiang කලාපයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය වැනි ලෙව බලවත් රාජ්‍යයන් රැසක් බීජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල රාජ්‍යතාන්ත්‍රිකව වර්ජනය කර තිබෙනවා. 

එවැනි පසුබිමක සමාරම්භක උළෙලේදී ඔලිම්පික් පහන දැල්වීමට එක් වූ Qi Fabao 2020 වසරේදී නැගෙනහිර ලඩාක්හි ගැල්වාන් නිම්නයේ ඉන්දියානු සොල්දාදුවන් සමග සටන් වැදුණු චීන හමුදා භට පිරිසට අණ දුන් නිලධාරියායි. ඔහු එම සටනේදී තුවාල ලැබුවා. 

Fabao ඔලිම්පික් ගිනි සිළුව සියතට ගැනීමට සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පල කළ ඉන්දියාවද අවසන් මොහොතේ ශීත සෘතු ඔලිම්පික් උළෙල රාජතාන්ත්‍රිකව වර්ජනය කරන බව නිවේදනය කළා.

චීනයේ මෙම පියවර "කණගාටුදායක" බවත් ඔලිම්පික් උළෙල "දේශපාලනය" කිරීමට තෝරාගෙන ඇති බවත් ඉන්දියාව චෝදනා කළා.