Tuesday, May 7, 2024

General line - 0115112241

ආධාර ලබා ගැනීමට තලේබාන් සංවිධානය කැබිනට් කුට්ටම අනයි




අන්තර්ජාතික ප්‍රජාවේ ආධාර ලබා ගැනීමේ අරමුණින් තලේබාන්  සංවිධානය විසින් සිය අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට තීරණය කර  තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , ඊට අදාළ සාකච්ඡා මේ වන විට කන්දහාර්හි දී තලේබාන් සංවිධානයේ උත්තරීතර නායක මුල්ලා හබිතුල්ලා අකුසන්දේගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් ඇති බවයි.

ඒ සදහා තලේබාන් අන්තර්වාර පාලනයේ අගමැති මුල්ලා අකුන්ද් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයම සම්බන්ධ වී සිටින බව සදහන්.

 එම පිරිස සංවිධානයේ උත්තරීතර නායකයා හමුවන්නේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරැ කර ගැනීමෙන් අනතුරැව පළමුවරට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය මේ වන තෙක් කිසිදු සංවර්ධිත රටක් විසින් නිල වශයෙන් පිළිගෙන නොමැති අතර ඔවුන්ගේ පාලනය පිළිගැනීමට නම් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සියලු පාර්ශ්වවල නියෝජනයක් සහිත ආණ්ඩුවක් ස්ථාපිත කිරිම අවශ්‍ය බවට අවධාරණය කර තිබෙනවා.

මේ වන විට ක්‍රියාත්මක තලේබාන් අන්තර්වාර පාලනයේ සම්පූර්ණ ඇමති මණ්ඩලයම පෂ්තුන්වරැන් පමණක් නියෝජනය කරන්නක් වන අතර උස්බෙක්, ෂියා, කුර්දි වැනි සුලු ජනවර්ගවල  නියෝජනයක් එහි ඇත්තේ නැහැ.