Friday, May 10, 2024

General line - 0115112241

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම රිවර්ස් වෙයි




අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගැස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් දැනුම් දීමට නියමිත බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ. 

කෙසේවෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමටයි ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබුණේ.  ඒ, රුපියල් 2500 කින්. ඒ අනුව ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස් ගෑස් සිලින්ඩරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5175 කට අලෙවි කිරීමට එම සමාගම තීරණය කර තිබුණා. 

මෙලෙස ගෑස් මිල වැඩිකිරීමට ප්‍රධාන හේතුව ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාමයි. පවතින තත්ත්වය හමුවේ ලිට්‍රෝ ගෑස් සමාගම මේවනවිට දිනකට රුපියල් කෝටි 25 ක පාඩුවක් ලබන බවත් ඉකුත් වසරේදී කෝටි 2000 ක පාඩුවක් ලැබූ බවත් ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අද පස්වරුවේ පැවසුවේ. 

පවතින තත්ත්වය හමුවේ සමාගම පවත්වාගෙන යාමට නොහැකි බැවින් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 2500 කින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා තිබුණා. 

කෙසේවෙතත් ලිට්‍රෝ සමාගම ලබන 25 වනදා දක්වා ගෑස් බෙදාහැරීම අත්හිටුවීමට ලිට්‍රෝ සමාගම ඉකුත් දා පියවර ගත්තා. 

මෙලෙස ගෑස් මිල සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව ඇත්තේ ගෑස් නොමැතිවීම හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින පසුබිමකයි. ගෑස් මිල වැඩිවීමට පෙර ඉකුත් සතියේ ඉන්ධන මිල ද ඉහළ ගියා. ඒ හේතුවෙන් බස්ගාස්තු ඇතුළු ක්ෂේත්‍ර රැසක මිල ගණන් ඉහළ ගියා. යම් හෙයකින් ගැස් මිල වැඩිවුවහොත් ඒ සමග බොහෝ ආහාර මිල ගණන් ද ඉහළ යනු ඇති.  

මේ අතර ඉන්ධන ලබාගැනීමේ අරමුණින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දිගු පෝළිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ ප්‍රමාණවත් ඉන්ධන තොග අදත් නොලැබීම හේතුවෙන්. ඉන්ධන බෙදාහැරීම යළි යථාතත්ත්වයට පත්වීමට තවත් දිනයක් හෝ දෙකක් ගතවනු ඇති බව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය අද දහවල් නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී අදහස් පළ කළා. 

මේ අතර ඉන්ධන මිල වැඩිවීම මෙන්ම වත්මන් ආණ්ඩුවට එරෙහි විරෝධතා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා. ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද ක්‍රියාත්මක වන්නේ 14 වන දිනටයි. 

වැලිගම ප්‍රදේශයේ සතොස අලෙවිසැලකින් සහන මිලට සහල් ලබාගැනීමට පෝළිමක රැඳී සිටි පිරිසකට, එම ස්ථානයට පැමිණි ඊශ්‍රායල ජාතික සංචාරකයෙකු සිය වියදමෙන් සහල් මිලදී ගෙන බෙදාදුන් පුවතක් ද මේ අතරතුර වාර්තා වනවා. ඔහු මෙරටට පැමිණ ඇත්තෙ ද බුදුදහම අධ්‍යයනය කිරීමටයි.