Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය අදයි




සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. 

ඊයේ දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කළ සිටි ලකුණු සංඛ්‍යාව 36ක්. නායක දිමුත් කරුණාරත්න ලකුණු 16ක් ලබා සිටියදී දැවී ගියා. නොදැවී පන්දුවට පහරදෙන ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17ක් සහ කසුන් රාජිත ලකුණු 03 ක් රැස්කර ගෙන සිටිනවා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල නායක බාබර් අසාම් අසීරු අඩියකට පත්ව සිටි සංචාරක පකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ශක්තිමත් කළා. ඒ, ඔහු ලකුණු 119 ක් රැස් කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 02 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වුණා. 

සියලුදෙනා දැවී පකිස්තාන කණ්ඩායමට පළමු ඉනිමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 218 ක් පමණයි. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුළු 05 ක් මෙන්ම මහීෂ් තීක්ෂණ සහ රමේෂ් මෙන්ඩිස් කඩුළු 02 බැගින් දවා ගත්තා. කසුන් රාජිතට එක් කඩුල්ලක් දවා ගැනීමට හැකිවුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 222 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තාන කණ්ඩායම රැස්කළ ලකුණු 218 ට වඩා මේ වන විට ලකුණු 40 ක් ඉදිරියෙන් පසුවනවා.