Thursday, May 2, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්




නීතිවිරෝධී වත්කම් චෝදනාවක් මත පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් විමර්ෂණ ඒජන්සිය විසින් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාලවයි.

පසුගිය සිකුරාදා එම ඒජන්සිය විසින් හිටපු අග්‍රාමාත්‍යවරයාට සිය කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබුවත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් නායකත්වය දරනු ලබන PTI පක්ෂයට සම්බන්ධ සමාගම් පහක් අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ බෙල්ජියමේ පවතින බව ෆෙඩරල් විමර්ෂණ ඒජන්සිය පවසනවා.

මෙම සමාගම් කිසිවක් සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති වාර්තාවේ කිසිම කරුණක් සඳහන් කර නොමැති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු අගමැතිවරයාට කැඳවීමක් සිදුකරමින් නිකුත් කළ පළමු නිවේදනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර තවත් කැඳවීම් දෙකක් සිදුකිරීමෙන් අනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීමට පාකිස්ථානයේ ෆෙඩරල් විමර්ෂණ ඒජන්සියට බලය හිමිවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර තමන්ට එවනු ලැබූ කැඳවීමේ නියෝගය දින දෙකක් ඇතුලත ආපසු කැඳවන ලෙසත් එසේ නොමැති නම් ෆෙඩරල් විමර්ෂණ ඒජන්සියට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.