Thursday, May 2, 2024

General line - 0115112241

දේශගුණ විපර්යාස හමුවේ චීනය දැඩි අවදානම් අඩියක




චීනයේ කෘෂි අස්වැන්න අධික උෂ්ණත්වයෙන් සහ නියඟයෙන් "දැඩි තර්ජනයකට" ලක්ව ඇති බවට එරට බලධාරීන් අනතුරු අඟවනවා.

ඒ අනුව වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙන රටේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ කෘෂි  භෝග ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාව ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය වාර්තාගත උෂ්ණත්වය, හදිසි ගංවතුර සහ නියඟය යන ස්වභාවික විපත් හේතුවෙන් මෙම ගිම්හාන සමයේ දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙනවා. 

චීනයට බලපා ඇති දැඩි දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම තත්ත්වය තීවර වෙමින් පවතින බව විශේෂඥයින් අනතුරු අගවනවා.

වසර 60 කට පසුව දකුණු දිග චීනයට බලපෑ දරුණුතම වියලි කාලගුණය සහ අධික උෂ්ණත්ව සහිත කාලගුණික තත්ත්වය මේ වන විට වාර්තා වෙමින් පවතින බව ද එරට කාලගුණ බලධාරීන් සඳහන් කරනවා. 

කෘෂි භෝග වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා අතරම කෘතීම වැසි ඇති කිරීමට කටයුතු යොදන බවයි චීන බලධාරීන් සඳහන් කර සිටින්නේ.

සෙල්සියස් අංශක 45 තරම් ඉහළ උෂ්ණත්වයකට මුහුණ දීම සඳහා වායු සමීකරණ භාවිතයට බොහෝ ජනතාව පෙළඹී සිටියත් මේ වන විට චීනයේ ප්‍රාන්ත රැසක විදුලි කප්පාදු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්. 
 
මේ අතර උණුසුම් හා වියලි කාලගුණය හේතුවෙන් බහුවිධ ලැව්ගිනි ඇතිවීමෙන් පසු ඊයේ දිනයේදී චීනයේ චොංකිං හි අවට ප්‍රදේශයේ පදිංචිව සිටි  පුද්ගලයින් 1,500 කට වැඩි පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට ආපදා සහන සේවකයින් පියවර ගනු ලැබූවා.