Wednesday, November 20, 2024

General line - 0115112241

රටට අවශ්‍ය වන නායකයා ගැන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක්




රටට අවශ්‍ය වන්නේ පක්ෂ දේශපාලනයෙන් තොර ජනතාවට විශ්වාස කළ හැකි ශක්තිමත්, අවංක, සෘජු තීරණ ගත හැකි නායකයෙක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පවසනවා.

එම නිකායේ අති පූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල මහ නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එදිනෙදා දිවි පෙවෙත ගත කිරීමට නොහැකි තත්ත්වයට සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩා වැටී ඇති බවයි.

නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, බිඳ වැටී ඇති පොදු මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳව පවතින්නේ අවනිශ්චිත ස්වභාවයක්.

අන් කවරදාකටත් වඩා පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ට රිසි පරිදි කටයුතු කරමින් සිටින තත්ත්වයක් උදාවී ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා. 

ලෝකය හමුවේ අභිමානවත්ව නැගී සිටිය හැකි දේශයක් යළි ගොඩනැගීම සඳහා දේශමාමක, ජාතිමාමක, ශක්තිමත් නායකයෙකු බිහිවිය යුතු කාලය පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් පැවසුවේ. 

වර්තමානය වන විට රට මුහුණ දී සිටින අර්බුධ ජයගෙන ලෝකය හමුවේ අභිමානවත්ව නැගී සිටිය හැකි නායකයෙකු පත්කර ගැනීම සඳහා වූ අදිනටනින් කටයුතු කිරීමට සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු කාලය පැමිණ ඇති බව ද උන්වහන්සේ නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙනවා.