Wednesday, November 20, 2024

General line - 0115112241

ජනාධිපතිවරයාගේ නායකත්වය තුළ ඇති වූ විශ්වාසය නිසා විගමනික ප්‍රජාව රටට සල්ලි එව්ව බව  මනූෂ  කුරුණෑගලදී කියයි  




රට ගොඩනැගීම සම්බන්ධයෙන් ඇති වී තිබූ අවිශ්වාසය ගොඩ ගැනීමට ජනාධිපතිවරයාගේ නායකත්වයත් ඒ තුළ මුදල් අවභාවිත නොවී නිවැරදිව සංවර්ධනයට යෙදෙන බවට ඇති වූ විශ්වාසයත් හේතුවෙන් ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් රටට මුදල් එවීමට කටයුතු කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (21) කුරුණෑගල පැවති  'විගමනික ශ්‍රමික හරසර' ව්‍යවසායකයින් ලක්ෂයක් තැනීමේ ජාතික වැඩසටහන අමතමින් 

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට වැඳ ආචාර කරන බව කී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැන්නක්.

"2016 අවුරුද්දෙ ඉඳලා ගත්තොත් ඩොලර් බිලියන 7.2ක්, 2018දී බිලියන 7.1ක්, 2019 වෙද්දී 6.7 දක්වා ඇවිල්ලා 2020දී ඩොලර් බිලියන 7.1ක් විදේශගත ශ්‍රමිකයෝ ප්‍රේෂණ එව්වා. 
ඒක 2021 ඩොලර් බිලියන 5.4කට අඩු වුණා. 

2022 අවුරුද්දේ ඒක බිලියන 3.7කට අඩු වුණා. 

රට කඩාගෙන වැටෙන්න ප්‍රධාන වශයෙන් ඩොලර් අර්බුදය හේතුවක් බවට පත් වුණා. එහිදී ජනාධිපතිතුමනි, ඔබතුමා අපිට බාර දුන්නා. 

එයින් පස්සේ මමත් ජගත් පුෂ්පකුමාර ඇමතිතුමා, අපේ අමාත්‍යංශ ලේකම්තුමාත් අමාත්‍යාංශයත් මේ කර්තව්‍ය භාරගෙන විදේශගත ශ්‍රමිකයන් සමග එකතුවෙලා 2022 අවුරුද්දෙන් පටන්ගෙන ඩොලර් බිලියන 5.9ක් දක්වා මේ ප්‍රමාණය ඉහළ නංවාගන්න පුළුවන්කම ලැබුණා. 

2024 වෙනකොට ඩොලර් බිලියන 12 දක්වා රට ඇතුළට ප්‍රේෂණ ගෙන එන්නට මේ ඉන්න ශ්‍රමික ප්‍රජාව අපිට දායකත්වය ලබා දුන්නා. 

ඩොලර් එවන්න එපා කියලා දේශපාලන නායකයෝ මාධ්‍යයට, පාරට ඇවිල්ලා කෑ ගැහුවා රට වට්ටන්න නම් අපි ඩොලර් එවන එක නවත්තමු කියලා. 

ඔබතුමා අපිට ඒ අභියෝගය බාර දුන්නම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආර්ථික අර්බුද මැද හිටපු වෙලාවේ පුළුවන් වුණා විවිධ පුද්ගලයෝ, පරිත්‍යාගශීලීන් එකතු කරගෙන, ඒ වගේම දැන්වීම්වලින් මේ ගැන ලෝකෙම ඉන්න විගමනික ශ්‍රමිකයින්ට සල්ලි ටික එවන්න කියන්න. 

ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී විවිධ අවස්ථාවලදී අපිට දුන් උපදෙස් අනුව මේ කර්තව්‍ය ඉෂ්ඨ කරලා අපි මේ වෙනකොට ඩොලර් බිලියන 12 දක්වා මේ රටට ගෙනල්ලා, සංචිතය සාක්ෂි ශක්තිමත් කරලා තෙල්, ගෑස්, කිරිපිටි ටික මේ රටට දෙන්න අපිට පුළුවන් වුණා. 

අපි විදේශගත ශ්‍රමික ප්‍රජාව හැටියට ඔවුන්ට අද ආඩම්බරයෙන් රට ගොඩ ගන්නා කොටස්කරුවෙක්, පංගුකාරයෙක් වෙන්න පුළුවන් වුණා කියලා කියන්න පුළුවන්. 

විදේශ ප්‍රේෂණවලට සාපේක්ෂව විද්‍යුත් වාහන ගේන්න, බැංකු හරහා එවන්න ලංකා රෙමිට් පද්ධතිය ක්‍රියාත්මක කරන්න, ශ්‍රමිකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙන්න, මිලියන 2.5 - මිලියන 10ක් දක්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පොලී ලබාගෙන ණය ලබාදෙන්න, 

ඒ වගේම හෝප්ගේට් ගුවන්තොටුපොළේදී විශේෂ පිවිසුමක් - විශේෂ කාර්ය මණ්ඩලයක් යොදලා ඔවුන්ට ගරුත්වය ලබා දෙන්න, සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග එකතු වෙලා ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න, 

එන්වීකියු මට්ටම් සඳහා යන්න පෙර පුහුණුව වගේම ආර්පීඑල් ලබාගන්න රුපියල් ලක්ෂයක් දක්වා ප්‍රතිපූරණය කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්නට වැඩ පටන්ගත්තා.

 රැකියා සඳහා පළවෙනි වරට යන අයට රුපියල් 10,000ක වවුචරයක්, හය පාරකට වැඩියෙන් රට ගිහිල්ල තියෙනවා නම් රුපියල් 25,000කට වැඩි වවුචරයක් දීලා මේ තත්ත්වය වර්ධනය කළා. 

නිවාස සංවර්ධන අධිකාරිය එක්ක එකතුවෙලා අරමුදල් ලබා දෙන්න අපට පුළුවන්කම ලැබුණා. කාර්යාංශය විසින් බිලියන දෙකක් මේ වන විට වෙන් කරලා තියෙනවා 

අද ඇවිල්ල ඉන්න ශ්‍රමික ප්‍රජාවට රුපියල් පනස්දහසකින් පටන් ගෙන දීමට. කාර්යාංශ පනතෙන් පත්වෙලා තියෙන 'ප්‍රත්‍යානුකලනය' නැත්නම් නැවත සමාජගත කිරීම යටතේ ලංකාව වටෙන් තෝරා ගන්නා ලක්ෂයක් දක්වා විදේශගත ශ්‍රමිකයන්ට පනස්දහසකින් පටන්ගෙන ලක්ෂයක් දක්වාත් දෙවෙනි අදියරට ගිහිල්ලා - ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් තෝරාගන්න අයට මිලියනයක් දක්වා තමන්ගේ ස්වයං රැකියාව වර්ධනය කරන්න සහාය දීලා රට ගොඩ ගන්න 

ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සංකල්පය වන ව්‍යවසායකයින් ගොඩනඟන සංකල්පය නිෂ්පාදන ආර්ථිකයක් හදන සංකල්පයට විගමනික ශ්‍රමිකයන් හැටියට දායකත්වය ලබා දෙන්නට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. 

බොහෝ දෙනා රටට සල්ලි එවන්න එපා කියද්දී සල්ලි ටික රටට එවලා මේ රට ගොඩ නගන්න, මේ රටේ කැඩිලා වැටිලා තිබුණු විශ්වාසය ගොඩනගන්න ඔබතුමාගේ නායකත්වය, ඔබතුමාගේ මග පෙන්වීම, ඒ වගේම රටට මුදල් ආවොත් මුදල් අවභාවිත වෙන්නේ නෑ, 

රටේ මුදල් නිවැරදි ලෙස සංවර්ධනයට යෙදෙනවා කියන විශ්වාසය අපේ විදේශගත ශ්‍රමිකයන්ට ඇති වුණා. ඒ නිසා තමයි අපේ විදේශගත ශ්‍රමිකයෝ රටට ආදරය නොකරන පිරිස් කොච්චර එවන්න එපා කියලා කිව්වත් රටට ආදරය කරන රාජ තාන්ත්‍රිකයෙක් විදිහට, රටට ආදරය කරන සැබෑ මානව හිතවාදියෙක් විදිහට ඔබතුමා මේ රට භාර ගත්ත වෙලාවෙදි ඔබතුමන් කෙරේ විශ්වාසය තියමින් ලංකාවට සල්ලි එව්වේ. 

ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අපේ අමාත්‍යංශය අපේ සංවර්ධන නිලධාරීන් දැවැන්ත කර්තව්‍යයක් සිදු කළා. 

ඒ සියලු දෙනාටත් රට වැටිච්ච තැනින් මේ රට ගොඩ ගන්න ජනාධිපතිතුමත් සමඟ අත්වැල් බැඳගත්තු සියලු දෙනාත් නැවතත් අපේ දරුවන්ට කිරිපිටි ටික බොන්න, ලයිට් ඇතුව පාඩම් කරන්න, නැවතත් අපේ අම්මල තාත්තලට බෙහෙත් නැතුව මැරෙන්නැතුව බලාගන්න, නැවතත් පෝලිම් නැතුව ජීවත් වෙන්න නිදහසේ පරිසරය හදන්න ඔබතුමාගේ නායකත්වය යටතේ සහයෝගය දීපු මේ සියලුම විගමනික ප්‍රජාවට ස්තුතියි, උත්තමාචාරය, ආයුබෝවන් නෙවෙයි ඔබතුමන්ලට වැඳලා ආචාර කරනවා රට ගොඩනගන්න දීපු සහයෝගයට. 

ජනාධිපතිතුමනි, ඔබතුමන් මේ ගත්තු හයියට මේ විගමනික ප්‍රජාව අද ගමක් ගමක් ගානේ, විගමනික සමිති හදාගෙන විගමනික සංගම් හදාගෙන මේ ගමන ඉස්සරහට ගෙනියන්න ඔබත් සමග බලමුළු ගැන්විලා ඔබත් සමග ඒකරාශී වෙලා ඉන්නවා."