Friday, November 8, 2024

General line - 0115112241

නව අගමැති සහ පුංචි කැබිනට් මණ්ඩලය පත් කිරීම අද සිදුවන ලකුණු




නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

කැබිනට් මණ්ඩලය පත් කිරීමද බොහෝදුරට අද පස්වරුවේ සිදු කෙරෙණු ඇති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ.

ඊට අමතරව අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම ද ජනාධිපතිවරයා විසින් අද දිනයේ සිදු කරනු ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූර සඳහා ඊයේ දිනයේදී පත් කිරීම් සිදු කරනු ලැබුවා.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ඔහුගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාට හිමි වනවා.

ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුව රැස්විය යුතුයි.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට දැනට දින යොදාගෙන ඇත්තේ ඔක්තෝම්බර් 08 වනදායි.

එහෙත් නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව රැස් කිරීමටනම් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු පත් කළ යුතු වනවා. 

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් මහනුවරදී මාධ්‍යවේදීන් විමසීමක් කළා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ දැනගැනීමට හැකිවනු ඇති බවයි. 

මේ අතර ඔක්තෝම්බර් 08 වනදාට පෙර පාර්ලිමේන්තුව රැස් කිරීමට මෙතෙක් උපදෙසක් ලැබී නොමැති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ.

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමෙන් අනතුරුව බොහෝ දුරට පාර්ලිමේන්තුව ඔක්තෝම්බර් 08 වනදාට පෙර කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙනු ඇති.